ව්‍යවස්ථාවට සහාය දෙන අය දේශද්‍රෝහීන්: 88-89 දී වගේ ඔවුන් මරා දැමිය යුතුයි: කමල් ගුණරත්න (Video)

 නව ව්‍යවස්ථාව විසින් රට බෙදන බවත් ඊට සහාය දක්වන්නන් දේශද්‍රෝහීන් බවත් ඒ දේශද්‍රෝහීන්ට මරණය ලබා දිය යුතු බවත් පවසයි. 

විපත් මග විසින් පසුගිය 21 වෙනිදා ගම්පහදී පැවැති රැස්වීමකදී එහි ප්‍රධානියෙකු වන හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එසේ පවසන ලදී.

88-89 කාලයේ ත්‍රස්තවාදීන් විසින් ‘දේශද්‍රෝහීන්ට මරණය‘ කියා ලියා තිබුනා සේ මේ දේශද්‍රෝහීන්ට ද මරණය ලබා දිය යුතු යැයි පවසන කමල් ගුණරත්න ඉන් නොනැවතී 88-89 කාලයේ දී එසේ මරා දැමූ අයගේ මිනිය දනහිසෙන් පහලට එල්ලාගෙන කනත්තට රැගෙන ගියා සේ අගෞරව කළ යුතු බවද පැවසීය. 


කතාවේ මුල් කොටසේ දී එදා හමුදාව ජනතාවට බොරු කී බවද කමල් ගුණරත්න පාපෝච්ඡාරණය කළේය. යුද්දයේ දී මිය ගිය හමුදාවේ අය ගැන හමුදා ප්‍රකාශයක බොරු කී බවත් නිවැරදි ගණන දැන ගෙන සිටියේ මල්ශාලා හිමියන් බවත් ප්‍රකාශ කර සිටියේය. 

ඒකාබද්ධයේ විරෝධය

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'වියත් මග‘ නමැති සංවිධානයේ ප්‍රධානියකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් කල බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ  ද විරෝධය එල්ල වී ඇත.


නව ව්‍යවස්ථාව විසින් රට බෙදන බවත් ඊට සහාය දක්වන්නන් දේශද්‍රෝහීන් බවත් ඒ දේශද්‍රෝහීන්ට මරණය ලබා දිය යුතු බවටත් කමල් ගුණරත්න මහතා කළ ප්‍රකාශයට ඒකාබද්ධය නියෝජනය කරන සමාජවාදී ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා  ප්‍රසිද්ධියේම විරෝධය පළකර ඇතයි පැවසේ.


13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සහිත ඒකීය රාජ්‍යයක්‌ යටතේ බලය බෙදීමට සමාජවාදී ජනතා පෙරමුණ සම්පූර්ණ පක්‍ෂපාතීත්වය දක්‌වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා පසුගියදා පැවසිය.


කමල් ගුණරත්නගේ කතාවේ අදාල කොටස් පහත වීඩියෝවේ දැක්වේ .

වීඩියෝව (උපුටා ගැනීම ලංකා ඊ නිව්ස්)

 

Search