මේ මාධ්‍යකරුවන් විද්‍යා අපයෝජනය සියැසින් දුටුවාද?


ආත්මයක් නැති කුණු මාධ්‍ය විසින් ළමා දූෂණ සිදුවීම් වාර්තා කරන අන්තිම පහත් ආකාරයට මේ පහත පින්තූරයම සාක්ෂි දරනවා.

ආණ්ඩු පවා ජනමාධ්‍යවල හැසිරීම ගැන නිතර දෙවේලේ විවේචනාත්මකව හැසිරෙනවා වුණත් මෙවැනි කාරණා සම්බන්ධයෙන් දේශපාලකයන්ගේ පමණක් නෙමෙයි, සමාජ දේශපාලනික ක්‍රියාකාරීන්ගේ පවා කටවල් ඇරෙන්නේම නැති තරම්.

මගේ නිරීක්ෂණයේ හැටියට ඒකට බලපාන තීරණාත්මක හේතුවක් නම් ළමා අපයෝජන කියන්නේ ජාතික මට්ටමින් බරපතල අපරාධ වන්නේය වැනි හැඟීමක්වත් බහුතර සමාජයේ නොමැති වීම. මේ නිසාම ළමා අපයෝජන වගේ සිදුවීම්වලට අදාළව පුළුල් මට්ටමින් හඬ නැගීම කෙනෙකුට 'හිට් වෙන්න' පුළුවන් හේතුවක් නෙමෙයි.

පසුගිය දා සිරස වර්ජනය කරන්න සමාජ මාධ්‍ය පුරාවට පෙළගැහුණු අපි බොහෝ දෙනෙකු ඊට දින කිහිපයකට පස්සේ දිනමිණ වර්ජනය කරමු කියන්න කට ඇරියේ නෑ. කිසිම ඉඟියක් නැතුව මෙහෙම කියනකොටම "ඇයි දිනමිණ වර්ජනය කරන්නේ? මොකක්ද කේස් එක්?" වගේ ප්‍රශ්න ඇහුවත් ඒ ගැන පුදුමයක් නෑ. මිනිස්සු දැන ගන්නේ තමන්ට interest එකක් තියෙන මාතෘකා විතරයි.

කොහොමත් මව්බිම, දිවයින වගේ මාධ්‍ය කිසි චාරයක් ඇති ඒවා කියලා හිතන්න පුළුවන් අත්දැකීමක් මේ රටට ඉතිරි කරලා නෑ. දේශපාලනික මුග්ධකම් කෙසේ වෙතත්, අඩුම තරමින් ඔවුන්ට සදාචාරාත්මක බැඳීමක් තිබෙනවා මේ වගේ ඛේදවාචක කුණු ගොඩේ කාක්කන් මෙන් හාර හාරා විකුණාගෙන කමින් මේ දැරිය වැනි වින්දිතයන්, දැනට ජීවතුන් අතරත් නැති වින්දිතයන්, නැවත නැවතත් අපයෝජනයට ලක් නොකිරීමට තරම්වත් වගකීම්සහගත වෙන්න.

පින්තූරයේ තිබෙනවා අදාළ සිදුවීම ඔවුන් වාර්තා කර තිබෙන්නේ මොනතරම් ගිජුකමකින්ද කියලා. ඇත්තටම ළමා අපයෝජකයන් වැඩි වෙන්නත්, 'ළමා අපයෝජන රුචිකත්වයක්' සමාජයේ පැතිරෙන්නටත් බලපාන ප්‍රධානතම හේතුවක් වන්නේ මෙවැනි තුට්ටු දෙකේ මාධ්‍ය මාෆියාකාරයින්.

දිගින් දිගටම අප මේවාට විරුද්ධව හඬ නගා තිබෙනවා. ජනමාධ්‍ය ඇමති විතරක් නෙමෙයි ජනාධිපතිව පවා සමාජ මාධ්‍යවල ටැග්කරලාත් තිබෙනවා. ඒත් මේ වෙනකල් කිසිම කෙනෙක් මේ වගේ අපරාධ ගැන වචනයක් කතා කරලා නෑ.

ළමා අපයෝජන වගේ දේවල් සමාජයෙන් තුරන් කරන්න බැරි තවත් බාධකයක් තමයි අපට ඒ සඳහා අවශ්‍ය political will එක නැතිකම.

විද්‍යා ඝාතනය කරන හැටි ලබන සතියේ ප්‍රචාරය කරන බව කියලා තිබෙනවා. අපි ඊට ඉඩ දෙනවාද?  ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මේ ඔබේ අවධානය පිණිසයි.

අශාන් වීරසිංහ

22688496 1979697142284484 5271407715173358061 n

Search