'ශ්‍රී ලංකාව තව බොහෝ දේ කළ යුතුව තිබෙනවා'

ශ්‍රී ලංකාව දිගින් දිගටම සංක්‍රාන්ති යුක්තියේ ප්‍රතිලාභ අහිමි කරගනිමින් සිටින බව සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රෙයිෆ්  (23) පැවැසීය. 



සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීමෙන් එක් පාර්ශ්වයකට පමණක් ප්‍රතිලාභ හිමිවන්නේ නැතැයි කී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්තිය යනු කුමක්දැයි නිවැරැදිව හඳුනාගත යුතු බව ද කීවේය. 

කොළඹ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රෙයිෆ් ඉහත කරුණු කීවේය.

ශ්‍රී ලංකාව තව බොහෝ දේ කළ යුතුව තිබෙනවා යැයි ද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා එහිදි කීය. 

දින 14ක මෙරට සංචාරය අවසන් කරමින් නිර්දේශ සහිත වාර්තාවක් ද ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාව පුළුල් සංක්‍රාන්ති යුක්තිය උපායමාර්ගයක් ස්ථාපිත කළ යුතු බව ද යෝජනා කර තිබේ. 

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව ක්ෂේත්‍ර කිහිපයකින් වර්ධනයක් පෙන්නුම් කළ ද සංක්‍රාන්තිය යුක්තිය ඉටු කිරීමේදී සහ තවත් බොහෝ ක්ෂේත්‍රවල ප්‍රමාදයක් පෙන්නුම් කරන බවත් කීය. එම ප්‍රමාදය පුළුල් හා සියලු පාර්ශවවල සහභාගීත්වය සහිත සංක්‍රාන්ති යුක්ති වැඩසටහනක් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ තිබෙන අධිෂ්ඨානය ප්‍රශ්න කරන බව ද කීවේය. 

හර්ෂණ තුෂාර සිල්වා

Search