නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ධුරය අහෝසි වියයුතු බවත් එසේ නොකර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත ජනාධිපතිවරණයට පැමිණියහොත් අනිවාර්යයෙන්ම පරාජයට පත්කරන බවත් විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැතිවරයෙකු පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් ඉඩ නොදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති (18) පැවති මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා මේ බව අවධාරණය කළ අතර ඒ සඳහා ජවිපෙ මධ්‍යම කාරක සභික, පළාත් සභා මන්ත්‍රී, නීතීඥ සුනිල් වටගල මහතාද එක්වී සිටියහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා
“දැනට තිබෙන 78 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පැරණි එකක්. අද සමාජය අලුත් වෙලා. එම අලූත් සමාජයට ගැලපෙන විදිහේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතුවෙලා තිබුණා.
අපේ රටට අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු එවකට ඇමතිවරයෙක් වුණු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්‍ෂකයෙක් බවට පත්වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මූලික එකඟතාවය මතයි. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා නව ආණ්ඩුක්රම ව්‍යවස්ථාවක් අවශ්‍යයයි.
අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බලයත් ඉන් අනතුරුව ජනමත විචාරණයකුත් අවශ්‍ය වෙනවා. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන නව ආණ්ඩුක්රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් තමයි 2015 ජනවරම ලැබුණේ. එම මැතිවරණ පොරොන්දුව ඉටුකිරීම ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවෙත් වගකීමයි.