රුසියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන අමෙරිකාවෙන් හෙළිදරව්වක්

මාර්තු මාසයේදී රුසියාවේ මොස්කව් හි

ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට රුසියානු බලධාරීන් වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබූ බව අමෙරිකාව පවසයි.

මොස්කව් හි ඊයේ (22) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීය.

කෙසේවෙතත් මොස්කව් ජනතාව වැඩි වශයෙන් එක්රැස්  වන උත්සව හෝ සංදර්ශන ස්ථානයක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මෙම මස මුලදී රුසියානු බලධාරීන් වෙත අනතුරු ඇඟවීමක් සිදුකළ බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් එය අමෙරිකාව වෙනත් අරමුණකින් සිදුකරන ලද ප්‍රකාශයක් ලෙස පවසමින් රුසියාව ඒ පිළිබඳව තැකීමක් සිදුනොකළ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ත්‍රස්ත ප්‍රහාරයක අවදානම සම්බන්ධයෙන් අමෙරිකානු රජය රුසියාවේ රැඳීසිටින අමෙරිකානු ජාතිකයින්ට ද මීට පෙර අනතුරු ඇඟවීමක් සිදුකර තිබු බව ද සඳහන් ය.

මේ අතර රුසියාවේ මොස්කව්හි අගනුවර ආසන්නයේ පිහිටි රඟහලකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.

ප්‍රහාරය 'නින්දිත ක්‍රියාවක්' බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

මෙම අසීරු අවස්ථාවේ රුසියානු රජයට සහ එරට ජනතාවට සහයෝගීතාවය ප්‍රකාශ කරන බවද මෝදි පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරය තරයේ හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර ඇති ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ද පවසන්නේ වින්දිත පවුල්වලට ශෝකය පළ කරන බවය.

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටන සඳහා ශ්‍රී ලංකාව සිය කැපවීම යළි තහවුරු කරන අතර සාමයට සහ ආරක්ෂාවට ඇති මෙම බරපතළ තර්ජනයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බවද ශ්‍රී ලංකාව සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. 

(Ada derana)

Search