පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම බැසිල්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (20) දහවල් පැවැත්වීමට නියමිතව තිබේ.

බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් මතුව ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ ප්‍රථමයෙන් මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බවය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ මතය විමසීම සහ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බව සඳහන්ය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බවත් ඔහුට පක්ෂයේ සහයෝගය ලබාදිය යුතු බවත් පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මැතිඇමතිවරුන් පක්ෂ නායකත්වයට දැනුම් දී තිබේ.

එමෙන්ම තවත් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවය.

ඒ සම්බන්ධයෙන් ද අද දිනයේ අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම පිළිබඳව ද කණ්ඩායම් රැස්වීමේ දී වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇත.

(Ada derana)