ඔටාවා ඝාතන සැකකරුගේ මානසික තත්ත්වය ගැන දැඩි අවධානයක්

ශ්‍රී ලාංකික එකම පවුලක සාමාජිකයින් 05 දෙනෙකු ඇතුළු

06 දෙනෙකුට මරු කැඳවූ ඔටාවා සමූහ ඝාතනයේ සැකකාර 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා ඔටාවා අධිකරණය හමුවේ ඊයේ දුරකථනය ඔස්සේ පෙනී සිටියේය. 

දෙවැනි දින නඩු විභාගය විනාඩි 4කට සීමාවී තිබුණි.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එරට නීති විශාරදයින් පෙන්වා දෙන්නේ සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ පුළුල් ඇගයීමක් සිදුකළ යුතු බවය. 

සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසා මේ වනවිට ඔටාවාහී කාලෙටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ඇති අතර ඔහු උසාවිය හමුවේ පෙනී සිටින අවස්ථාවේදී ඔහුගේ නම සහ උපන්දිනය කෙඳිරිලි හඬින් පවසද්දී, විශෝධන නිලධාරියා ඔහුට පැහැදිලි උස් හඬින් එය පවසන ලෙසට ප්‍රකාශකර තිබුණි.

අධිකරණ විභාගයේදී ඝාතනයට ලක්වු ශ්‍රී ලාංකික පවුලේ සාමාජිකයන්ගේ නම්වල දෝෂ නිවැරදි කිරීමට පියවර ගැනුණු අතර, එහිදී චෝදනාවල වෙනසක් සිදුනොකෙරෙනු බව කැනේඩියානු මාධ්‍ය සඳහන් කළේය.

එමෙන්ම ඔහුට එරෙහිව නඩු පැවරීමට අදාළ චෝදනා ඊයේ අධිකරණය ඉදිරියේ නැවතත් කියවා නොමැත. 

අධිකරණ විභාගයේදී පිළිතුරු ලබාදීම සඳහා සැකකරු ඉංග්‍රීසි භාෂාව තෝරාගෙන ඇති අතර මීළඟ නඩු විභාගය ලබන 28 වනදා පැවැත්වීමට අධිකරණය නියෝග කර තිබේ.

සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසාට එරෙහිව සාපරාධි මිනිමැරුම් චෝදනා 06ක් සහ මිනිමැරීමට තැත්කිරීමේ චෝදනාවක්ද එල්ලවී ඇති අතර එම චෝදනා සැලකිල්ලට ගෙන ඔහු ආරක්ෂිත රැඳවුම් භාරයේ තබා ඇති බව ඔහුගේ නීතීඥ එවන් ලයිට්ල් පවසයි.

එමෙන්ම විත්තිකරු ඔහුගේ මානසික තත්ත්වය අධිකරණ විභාගයේදී නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කරනු ඇත්ද යන්න ද විමසා තිබේ.

ඔටාවා සරසවියේ නීති අංශයේ මහාචාර්ය ඩැෆේන් ගිල්බර්ට්,

"මේ අපරාධ සිද්ධියේ ස්වාභවය සැලකූවිට සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ කැපී පෙනෙන ඇගයීමක් සිදුකිරීම අවශ්‍ය යැයි පෙනී යනවා. මෙහි සංකීර්ණ බව සැලකූවිට එවැන්නක් සිදුකිරීම අත්‍යාවශ්‍යව පවතිනවා. එසේ සම්පූර්ණ වාතාවරණය හෙළිදරව් කරගැනීමට තවත් මාස කිහිපයක් ගතවිය හැකියි."

මෑත කාලීන ඔටාවා ඉතිහාසයේ වාර්තාවූ දරුණුතම සමූහ මිනිමැරුම් සිද්ධියේ නඩු විභාගය වාර්තාකිරීම සඳහා මාධ්‍යවේදීන් විශාල පිරිසක් අධිකරණ ශාලාවේ රැඳීසිට ඇති බව වාර්තා විය.

සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසා මෙම ඝාතනය සිදුකිරීමට හේතුව තවමත් අවිනිශ්චිත බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කරයි.

 

(DERANA NEWS)

Search