පුටින්ගේ බලාපොරොත්තු සඵල වෙයි ද?

පස්වැනි වරටත් රුසියානු ජනාධිපතිධුරය ඉල්ලා සිටින

ව්ලැදිමීර් පුටින්ට නියත ජයග්‍රහණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂිත 2024 රුසියානු ජනාධිපතිවරණය මේ වන විට ආරම්භ වී තිබේ. 

විදේශයන්හි සිටින රුසියානුවන්ට ද එම රටවල රුසියානු තානාපති කාර්යාලය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළ හැකිවීම විශේෂත්වයකි.

කලාප 29ක පළමුවරට ඡන්දය පාවිච්චි කරන්නන්ට මාර්ගගත ක්‍රමයට ද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබේ. 

බොහෝ ප්‍රදේශවල පෙරවරු 8.00 සිට රාත්‍රී 8 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකෙරේ.

2000 වසරේ සිට රුසියාවේ බලය හොබවන 71 හැවිරිදි ජනාධිපති පුටින් 2004, 2012 සහ 2018 වසරවලදී නැවත තේරී පත්විය.

ඒ වසර 4ක ධුර කාල දෙකක් සහ වසර 6ක ධුර කාල දෙකක් ලෙසිනි.

2021 වසරේදී ජනපති පුටින් අත්සන් තැබූ නියෝගයකට අනුව ඔහුට තවත් ජනාධිපතිධුර කාල දෙකකට තරග කළ හැකිය. 

ඒ අනුව ජීවත්ව සිටියොත් 2036 වසර වනතුරු ඔහුට රුසියානු ජනාධිපතිධුරය දැරීමේ අවස්ථාවක් පවතී. 

මෙවර ජනාධිපතිවරණය ජයගතහොත් ජනපති පුටින් සෝවියට් සමූහාණ්ඩුවේ නායකයෙකු වූ ජෝසප් ස්ටාලින්ට පසු වැඩිම කාලයක් රුසියාව පාලනය කළ නායකයා බවට පත්වේ. 

ජනාධිපතිවරණයට පෙර රුසියානු ජනතාව ඇමතූ ජනපති පුටින් ඔවුන් වෙතින් ඉල්ලා සිටියේ පීතෘ භූමියේ අනාගතය තීරණය කිරීම උදෙසා ඡන්දය ප්‍රකාශ කිරීමට එක්වන ලෙසය.

රට දුෂ්කර කාලවකවානුවක් පසු කරන අතර ඒ නිසා එක්සත්ව ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීම අවශ්‍ය වී ඇති බව ජනපති පුටින් සඳහන් කළේය. 

රුසියාව විසින් යුක්‍රේනය ඈඳාගත් කලාපවල මිලියන සංඛ්‍යාත පිරිසක් ද මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටී. 

ජනපති පුටින්ට එරෙහිව අපේක්ෂයන් කිහිපදෙනෙකු ඉදිරිපත්වුවත්, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදීන් කිසිවෙකු ඒ අතර නැත. 

ජනපති පුටින්ට සැබෑ අභියෝගයක් විය හැකිව සිටි විපක්ෂ නායකයෙකු වූ ඇලෙක්සි නවාල්නි ආක්ටික්, ධ්‍රැවය ආසන්නයේ රුසියානු සිරකඳවුරකදී පසුගියදා මියගියේය. 

අනෙක් ප්‍රතිවාදීන් සියල්ලට පාහේ මිය ගොස්, සිරගත කර හෝ පිටුවහල් කර සිටින අයයි. 

යුක්‍රේන යුද්ධයට විරුද්ධත්වය පළ කරන අපේක්ෂකයන් දෙදෙනෙකු මෙවර රුසියානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට උත්සාහ කළ ද රුසියානු මැතිවරණ කොමිසම ඔවුන්ගේ නාමයෝජනා භාරගත්තේ නැත. 

ජනපති පුටින්ගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි ඒකාධිපති පාලනයක් ලෙස බටහිර රටවල් හඳුන්වා දී ඇත.

යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ඔවුන්, ඔහු යුද අපරාධකරුවෙකු ලෙස ද හඳුන්වා දී තිබේ.

එහෙත් ජනමත සමීක්ෂණවලින් අනාවරණය වන්නේ රුසියානුවන්ගෙන් 85%ක් ඔහුගේ පාලනය අනුමත කරන බවය. 

ජනපති පුටින්ට ප්‍රමාණය ඉක්මවා ගිය ජනතා සහායක් පවතින අතර බටහිර රටවල් රුසියාවට ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්වීම අවශ්‍ය නොවන බව, ක්‍රෙම්ලින් මන්දිරය ප්‍රකාශ කළේය.

ජනපති පුටින් මෙවර ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ රුසියාව, යුක්‍රේනය සමග පමණක් නොව අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමග අනියම් යුද්ධයකට නැත්නම් ප්‍රොක්සි වෝ එකකට එළැඹී සිටින වාතාවරණයකය.

( DERANA NEWS)

Search