දමිතාගේ ඉල්ලීමට අගමැතිගෙන් ප්‍රතිචාර (VIDEO)

වත්මන් අර්බුදයට විසඳුම සොයාගත යුත්තේ පාර්ලිමේන්තුවෙන් බැවින් රටට ආදරේ ඇති පිරිසක් එකතු කරගෙන පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයාගත

යුතු බවට රංගන ශිල්පිනි දමිතා අබේරත්න අරගල භුමියේ දී කළ ප්‍රකාශයක් ගැන අගමැති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව තිබෙනවා.

අද (7) පාර්ලිමේන්තුව අමතමින් අගමැතිවරයා මේ බව කියා සිටියේ ය.

"රටක් යළි ඉහළට ඔසවා තැබීමේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් සෑහෙන්නේ නැහැ. ඊට සමාන්තරව සමාජ දේශපාලන සහ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණයන් ද අවශ්‍ය වෙනවා. පසුගිය දිනයක අරගල බිමේ සිට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී මතු කළ කරුණක් ගැන මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි.

එහිදී අදහස් පළ කරමින් දමිතා අබේරත්න කලාකාරිනිය මගෙන් මෙන්න මෙහෙම ඉල්ලීමක් කරා. මේ ගැටළුවට විසඳුම් සොයා ගත යුත්තේ පාර්ලිමේන්තුවෙන් නිසා රටට ආදරේ ඇති අය එක්කරගෙන පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් හොයාගන්න කියලයි එතුමිය ඉල්ලා සිටියේ. ඇය මෙහෙමත් කිව්වා. හැබැයි අගමැතිතුමනි ටොෆි ලොසිංජර දීලා ජනතාව රවට්ටන්න හදන්න එපා”.

"මේ අදහස ගැන මෙතැන සිටින ඔබ සැමගේ අවධානය යොමු කරන්න මම කැමැති. අද රට පත් ව ඇති තත්ත්වයට විසඳුම් සෙවීමේ වගකීම පැවරී තියෙන්නෙ මේ සභාවේ සිටින ජනතා නියෝජිතයන්ගේ උර මතයි. අපි ඒ වගකීමට උර දිය යුතුයි. ඒ වගකීම අපි ඉෂ්ට කළ යුතුයි. පැලැස්තර විසඳුම් වෙනුවට දීර්ඝකාලීන සහ ප්‍රතිඵලදායී විසඳුම් සෙවිය යුතුයි.

ඒ නිසා අපි එකිනෙකා අතර ඇති සියලු භේද පසෙක දා රට වෙනුවෙන් අලුතෙන් සිතමු. අලුත් ගමනක් අරඹමු. අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ වලට මුලපුරමු. වෙනස් විදියකට සිතමු. ක්‍රමය වෙනස් කිරීමට මුල පුරන්න පුළුවන් වෙන්නේ අපි හැමෝම වෙනස් විධියකට සිතා වෙනස් විදියකට කටයුතු කිරීමෙන්."

Search