වත්මන් ආණ්ඩුව චීනය කල්තියාම තරහ කරගත් බවත්, දැන් රුසියාව ද තරහ කර ගැනීමේ ඉමතෙක් රැගෙනවිත් තිබෙන බවත් ජාතික නිදහස් පෙරමුණ
නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසනවා.
බොරැල්ල පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (06) පැවති ‘ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ’ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"මේ වන විට ගෑස් හිඟයෙන් නාගරික ජනතාව මෙන්ම ග්‍රාමීය ජනතාව ද ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. මේවාට විසඳුම් ලබාදීමට මිත්‍ර රටවල් සමග ආණ්ඩුව සාකච්ඡාවක් හෝ සිදු කරන ආකාරයක් දැක ගැනීමට නැහැ. ඒ වෙනුවට පෙනෙන්නට තිබෙන්නේ මිත්‍ර රටවල් ද තරහ වන දිසාවට ඇදගෙන යන ආකාරයක්. චීනය සහ රුසියාව කියන්නේ ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට පමණක් නොවෙයි ඕනෑම ජාත්‍යන්තර අර්බුදයකට මුහුණ දුන්නාම සහයෝගය ලබාදුන් අවංක මිතුරන්.
මේ ආණ්ඩුව චීනය කල්තියාම තරහ කර ගත්තා. දැන් වාණිජ අධිකරණමය ක්‍රියාදාමයක් හේතුවෙන් රුසියාවත් තරහ කර ගැනීමේ ඉම දක්වා රැගෙන විත් තිබෙනවා.
දැනට ඩොලර් 110කට පමණ ලබාගන්නා තෙල් බැරලය ඩොලර් 30 -70 අතර මිලකට ලබාගත හැකි, අපි මුහුණ දී සිටින රසායනික පොහොර ගැටළුවට උත්තරයක් ලබා දීමට හැකියාව තිබෙන, ඒ වගේම අපි මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙස සංචාරකයන් රැසක් මේ රටට ගෙන්වාගත හැකි, රටක් තමයි රුසියාව කියන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ තේ වෙළඳපොළෙහි දෙවන ස්ථානයේ සිටින්නේ ද රුසියාවයි."
"දැන් හොඳින් බලන්න, ‘අයර්ලන්ත රක්ෂණ සමාගමක් – රුසියානු ගුවන් සේවයක් – කොළඹ අධිකරණ තීන්දුවක්’ යන සියල්ල දෙස. එම අයර්ලන්ත රක්ෂණ සමාගම සිංගප්පූරුවේ බේරුම්කරණ අධිකරණයක් හරහා තමන්ට සිදුව ඇති පාඩුව පියවාගැනීම සඳහා පියවර ගනිමින් සිටින බව දැනගැනීමට තිබෙනවා.
එසේ තිබියදී ශ්‍රී ලංකාවේ අධිකරණයක් හරහා මෙවැනි පියවරක් ගත්තේ ඇයි? මෙම රුසියානු ගුවන් සේවයේ ගුවන්යානා ඉන්දියාවටත් එනවානේ. මෙම අයර්ලන්ත රක්ෂණ සමාගම ඉන්දියානු අධිකරණය වෙතිනුත් මෙවැනි ඉල්ලීමක් නොකළේ ඇයි? මේ සියල්ල සැකයට තුඩු දෙන හේතු."