විසි එක් වන සංශෝධනය ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ කෙටුම්පතේ ඇති ඇතැම් කරුණු පිළිබඳ එකඟතාවයක් නොමැති නමුත්
සමගි ජන බලවේගය ඊට විරුද්ධ නැති බව එම පක්ෂ ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ අජිත් පී පෙරේරා පවසනවා.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ රජය සමඟ තිබූ සාකච්ඡාවේදී මෙහි තිබෙන අඩුපාඩු පෙන්වා දුන් බවත් එහි අඩුපාඩු සකස් කරන්නේ නම් පාර්ලිමේන්තුවේදී 21 වන සංශෝධනයට ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවත් ය.
ඒ අනුව ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් දැරීමට නොහැකි යන්න මෙම කෙටුම්පතට ඇතුළත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතරයකින් අවස්ථාව ලබා දිය යුතුය යන්න සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ සමගි ජන බලවේගයේ ස්ථාවරය මෙම රජය ඉදිරියට ගෙන යාවි යන පදනම මත එයට සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඔහු එහිදී කීවේය.
අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති කෙටුම්පත මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොවන දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඇතුළත් කරුණු පවා අඩුවෙන් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම සංශෝධන වලට යටත්ව සමගි ජන බලවේගය විසි එක් වෙනි සංශෝධනයට සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඔහු තවදුරටත් කීවේය.