ස්කොට්ලන්ත ගිය ජනාධිපතිට දෙමළ ඩයස්පෝරාවෙන් විරෝධතාවයක් (VIDEO)

නිල විදේශ සංචාරයක යෙදී සිටියදී මුහුණ දුන් දැවැන්තම විරෝධතාව අත් දකින්නට ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිදුවී තිබේ.

 

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුලුව ඇමතීමට ගිය ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටින මධ්‍යම ස්කොට්ලන්තයේ පිහිටි හිල්ටන් සමූහ ව්‍යාපාරයට අයත් සුඛෝපභෝගී හෝටලය ඉදිරිපිටටම ගොස් එම ඝෝෂාකාරී විරෝධතාව පවත්වන ලද්දේ දෙමළ ඩයස්පෝරාව විසිනි.


ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා සූදානම්ව සිටි නොවැම්බර් පළමුවැනිදා හිමිදිරි පාන්දර ඇරැඹුණු උද්ඝෝෂණයට බහුතරයක් තරුණයන්ගෙන් සැදුම්ලත් විරෝධතාකරුවන් ඊට කලින්දා සිට බස් රථවලින් පැමිණ සිටියහ.

වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිමැවුණු හෝටලය අවට දෙවනත් කරමින් දෙමළ උද්ඝෝෂකයෝ ජනාධිපතිවරයා යුද අපරාධකරුවකු හා වර්ග සංහාරකයකු ලෙස හෙලා දකිමින් හඬ නගනු වීඩියෝ ගතවී තිබේ. ඇතැමුන්ගේ විරෝධය ජාත්‍යන්තර බලවතුන් වෙතද එල්ලවී තිබුණි.

“එක්සත් ජාතීනි, වර්ග සංහාරක ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම නවතනු” යි ඇතැම් පුවරුවක ලියා තිබුණි.

ඩන්බ්ලේන්හි ඩබල් ට්‍රී හෝටලය අවට යොදා තිබූ දැඩි පොලිස් මුරකාවල් මැදින් ගෝඨාභය රාජපක්ෂ බවට විශ්වාස කෙරෙන අයකු රැගත් ප්‍රභූ ආරක්ෂක රථ පෙළ ගමන් ගනිද්දී ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස බල කෙරෙන හඬ වඩාත් උත්සන්න වූ ආකාරයක් සමාජ වන වීඩියෝවේ ඇසේ.

උපුටා ගැනීම : The Leader

Search