රාජපක්ෂ ආණ්ඩුව බටහිර හා ඇමෙරිකානු විරෝධයේ සිට සහයෝගිතා ප්‍රතිපත්තියකට මාරු වීමේ පියවරක් ලෙස කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරය
ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගනුදෙනුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ නීතීඥ සුනිල් වටගල මාර්ගයෙන් ගොනු කළ රිට් පෙත්සම මගින් ඉල්ලා සිටින්නේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකාවේ සමාගමකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්න ලෙසයි.
අභියාචනාධිකරණය හමුවේ ඊයේ 26 වැනිදා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ හා කැබිනට් මන්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය, වෙස්ට්කෝස්ට් පවර් පුද්ගලික සමාගම, ලක්දනවි සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව, මහජන උපයෝගීතා කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අදාළ කොටස් පවරනු ලැබූ අමෙරිකානු එන්.එෆ්.ඊ පවර් හෝල්ඩිං සමාගම ඇතුළු 43 දෙනෙකු නම්කර තිබේ.
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගම වෙත පැවරීමේ දී රාජපක්‍ෂ ආණ්ඩුව විසින් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වෙත පවා නිසි කරුණු පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවත්, අදාළ කොටස් පැවරීමේ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ අනුමැතිය ද ලබා ගෙන නොමැති බවත් දන්වා සිටින පෙත්සම්කරුවෝ අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය විධිමත් ටෙන්ඩර් පටිපාටියකට අනුව සිදු වී නොමැති බව ද දන්වා සිටිති.
ඒ අනුව අදාළ ගිවිසුමට එළඹීමේ දී රජය විසින් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත තුළ පාරදෘශ්‍යභාවය බරපතළ ලෙස අභියෝගයට ලක්වී තිබේ.
යුගදනවි බලාගාරයේ අදාළ කොටස් අමෙරිකානු සමාගම වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය විසින් ඉකුත් සැප්තැම්බර් 6 වැනිදා ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසත් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම වළක්වන මැන්ඩාමුස් රිට් ආඥාවක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
The Leader