ඡන්දයේදී කාන්තා නියෝජනය නැංවීමට නැවතත් යෝජනා!

ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමට

පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමුව තිබේ.

මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තු හා පළාත් මට්ටමින් කාන්තාවන් සඳහා 30%-70% අතර නියෝජනයක් සහතික කිරීමේ යෝජනාවක් මැතිවරණ හා ඡන්ද විමසී‍ම් නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලිඛිතව දැනුම් දීමට එම සංසදය තීරණය කර ඇත.

මීට අමතරව පළාත් පාලන මට්ටමේ ඡන්ද 25% කෝටාව නොවෙනස්ව පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා වන යෝජනාවක්ද, සියලු දේශපාලන පක්ෂ ජාතික ලැයිස්තුවෙන් 50% ක් කාන්තාවන් සඳහා වෙන් කිරීමට මැතිවරණ නීති රීති වලට එක් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද එහිදී තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ සභාපතිත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමේදී මෙම කරුණු යෝජනා වු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

සියලු කොමිෂන් සභා සහ මණ්ඩල සඳහා කාන්තා නියෝජනය ඉහළ නැංවීමට කටයුතු කිරීමද, ප්‍රධාන පක්ෂ ව්‍යුහ ධූරාවලිය තුළ නායකත්ව තනතුරු, කමිටු තනතුරු,විධායක තනතුරු සහ කාරක සභා සාමාජිකත්වය හෙබවීම සඳහා අවස්ථාව සැලසීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමටත් එහිදි සාකච්ඡාවට ලක් වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සමග රෝහිණි කුමාරි විජේරත්න, ගීතා කුමාරසිංහ, ආචාර්ය හරිනි අමරසූරිය, මංජුලා දිසානායක සහ මුදිතා ද සොයිසා යන සිංහල මන්ත්‍රීවරියන් ද මේ අවස්ථාවට සහභාගී වී ඇත.

 

ජුලි මස 15 දක්වා කල් දෙයි

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලට යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය ජුලි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඒ පිළිබඳ පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා තීරණය කර තිබුනි.

ඒ අනුව අදාළ යෝජනා එදිනට පෙර ලිඛිතව දන්වා එවන ලෙස එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ලියාපදිංචි දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබේ.

එකී යෝජනා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට යොමු කළ හැකි බව රජය දැනුම් දෙයි.

මේ වන විට මැතිවරණ හා ජන්ද විමසීම් නීති ප්‍රතිසංස්කරණට අදාළව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ලැබි ඇති යෝජනා හා අදහස් සංඛ්‍යාව 94 ක් බව එම කාරක සභාවේ ලේකම් හා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර පසුගියදා පැවැති කාරක සභාවේ රැස්වීමේදී සඳහන් කර තිබුනි.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කාර්යභාරය බව රජය පවසයි.

Leader.lk

Search