අද රාත්‍රී 12 සිට සංචරණ සීමා පැනවෙන හේතුව අජිත් රෝහණ පැහැදිලි කර යි

අද (11) දින මධ්‍යම රාත්‍රී 12 සිට සංචරණ සීමා පැනවෙන්නේ අත්‍යාවශ්‍ය ගමන් හැර විනෝද ගමන් සහ වෙනත් ගමනා ගමනය වැලක්වීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටිනවා.

ඒ අනුව, පළාත් අතර සංචරණය සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොකෙරෙන අතර අදාළ පළාත් සීමාවන්හි ඇති මාර්ග බාධකවලදී රථවාහන පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බව යි ඔහු ප්‍රකාශ කරන්නේ.

සංචරණ සීමා සම්බන්ධයෙන් සහ ප්‍රවාහන කටයුතු පිළිබඳව වැඩිදුර කරුණු පැහැදිලි කිරීම සඳහා අද (11) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පළාත් අතර ගමන් කරන පුද්ගලයන්ට තම රාජකාරී හැඳුනුම්පත භාවිත කර එම ගමන් සිදු කිරීමට හැකියාව ලැබේ.

සංචාරක හෝටල්වල වෙනත් පළාත්වලින් පැමිණෙන පුද්ගලයන් රඳවාගතහොත් අදාළ හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන නමුත් අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා වෙනත් පළාත්වලින් පැමිණ නවාතැන්ගෙන සිටින පුද්ගලයන් එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට සහ පොලිස් ස්ථානයට ඒ බව පූර්ව දැනුම්දීමක් සිදුකළ යුතු වේ.

එසේම, සුපිරි වෙළඳසැල් ඇතුළු අනෙකුත් ව්‍යාපාරික ස්ථානවල අදාළ පූර්ණ ධාරිතාවයෙන් සියයට 25 ඉක්මවා ඇති බව යම් අවස්ථාවක හැඟී ගියහොත් අදාල ව්‍යාපාරික ස්ථානයේ, කාර්යාලයේ ප්‍රධානීන්ට මෙන්ම අතිරේකව රැඳී සිටින්නන්ට නිරෝධායන නීති අනුව නඩු පැවරීම සිදුකරන බව යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 

Search