කොවිඩ් ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

ශ්‍රී ලංකාව තුළ දිනකදී හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අලුතින් මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබීය.

සෙනසුරාදා (මැයි 01) අලුතින් රෝගීන් 1,716 ක් වාර්තා වූ අතර නොනවත්වා රෝගීන් 1,000 ඉක්මවා වාර්තා වූ පස් වෙනි දිනය මෙයයි.

ඒ අනුව නව කොවිඩ් මර්දන මාර්ගෝපදේශ මාලාව මැයි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශිත සෝදිසි අවධි - 3 (Alert Level 3) මාර්ගෝපදේශ අනුව පහත සඳහන් නියමයන් බලපැවැත්වෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

# සමුළු (conference), සම්මන්ත්‍රණ (Seminars), රැස්වීම් (Meetings), සන්නාම දිවා හෝජන (Brand Lunches) 2021.05.21 දක්වා තහනම්ය. ඉන් පසුව පවතින කොවිඩ් තත්ත්වයට අනුරූපව නැවත සමාලෝචනය කරනු ලැබේ.

# සුපිරි වෙළඳසැල් (Super Market), මහාපරිමාණ අලෙවිහල් (Shoppers Malls), මූල්‍ය ආයතන, රෙදිපිළි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල් ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවෙන් 25% ක සීමාවකට යටත්වය.

# සංවෘත ස්ථාන සහ විවෘත ස්ථානවල පවත්වන සාද අංග (Events) සහ මහජන එක්රැස් වීම් සඳහා අවසර නැත.

# ආගමික ස්ථානවල ජනතාව එක්රැස් වීම නොකළ යුතුය.

# සිනමා ශාලා සහ රංග ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක, 'Pub', 'Bars', Casino (පබ්, බාර්, කැසිනෝ), රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු ස්ථාන (Betting Centers) සහ සම්භාහන සේවා ස්ථාන වසා තැබේ.

# හෝටල්, තානායම් සහ ආගන්තුක නිවාස (Guest Houses) ආදියෙහි රඳවා තබා ගත හැකි සංඛ්‍යාව මුළු ධාරිතාවයෙන් 50% ක් වන අතර රාත්‍රී 10.00 පසුව ක්‍රියාත්මක නොවිය යුතුය.

# කානිවල්, සංගීත සංදර්ශන, වෙරළතීර සාද/ උත්සව සඳහා අවසර නැත.

# විවෘත වෙළඳසැල්, පොළ සහ බේකරි වෙළඳසැල් ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවයෙන් 25% යටත්වය.

# උසාවි - මුළු ධාරිතාවයෙන් 25% දක්වා ජනතාවට පැමිණීමට අවසර ඇත.

# බන්ධනාගාර රැඳවියන් බැලීමට අවසර නැත.

# පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන, ආධාරක (Tuition) පංති නැවත දැනුම්දෙන තුරු වසා තැබේ.

# 2021 මැයි 04 දින සිට මැයි 20 දක්වා මංගල උත්සව සඳහා අවසර නොලැබේ.

409

මැයි මස 20 දිනට පසු පවතින කොවිඩ් තත්ත්වයට අනුරූපව මාර්ගෝපදේශ නැවත සමාලෝචනය කෙරෙනු ඇති බව බලධාරීහු පවසති.

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යටතේ තුන්වන මට්ටමේ කොවිඩ් අවදානමට සරිලන පරිදි මහජන ක්‍රියාකාරකම් සංශෝධනය විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 118292811 3a8a6f74 5335 45db ac7a 8e6edbe3c2fc

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කෙරුණු නව රෙගුලාසි අනුව පහත සඳහන් සීමාවන්ද පනවා ඇත.

# පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී දුම්රිය සහ බස් රථවල මගීන් ගමන් කළ හැක්කේ එහි ආසන ගණනට පමණි.

# එමෙන්ම කුලී රථ භාවිතයේදී ත්‍රීරෝද රථ සහ මෝටර් රථවල එකවර ගමන් කළ හැක්කේ මගීන් දෙදෙනෙකුට පමණි.

# වෙනත් මාදිලියේ කුලී රථවල එහි ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා හැකි වේ.

# අපනයනය මූලික කරගත් ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුළු වෙනත් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී ජෛව විද්‍යාත්මක ආරක්ෂිත බුබුලක් තුළ එහි කටයුතු පවත්වාගෙන යා යුතුය.
එමෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ ඒවා පවත්වාගෙන යා යුතුය.

# දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද විවෘත වන්නේ නැත.

# කොවිඩ්-19 ආසාදිත මරණ හැර සෙසු අවමංගල උත්සව පැවැත්වීමේදී ඒ සඳහා එක් අවස්ථාවකදී සහභාගි විය හැකි පිරිස 25 දෙනෙකුට සීමා වේ. දේහ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකළ යුතුය.

# මහජන ඒකරාශිවීම් සඳහා අවසර හිමි නොවන අතර එළිමහන් හෝ ගෘහස්ථ උත්සව ද පැවැත්වීමට අවසර හිමි වන්නේ නැත.

# එමෙන්ම ආගමික ස්ථානවලද පුද්ගල ඒකරාශි වීම් හෝ එක්රැස් වී සිදුකරන ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ පැතිරෙන B117 කොරෝනා වෛරස් ප්‍රභේදය මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවත් එම ප්‍රභේදය ඉතා සීග්‍රයෙන් පැතිරෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිම ජීවන්දර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Dr.chandima jeewandara

එම ප්‍රභේදය ආසාදනය වූවන් වෙතින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ද එය ඉතාමත් භයානක තත්වයක් බවද ඔහු සඳහන් කළේය.

ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවේ පැතිර යමින් පවතින වෛරස් ප්‍රභේදය මේ වන තෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී නොමැති බවය.

(BBC සිංහල සේවය)

Search