මානව හිමිකම් කවුන්සිලය විසින් මෙවර ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව සිදු කළා යැයි පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන තමන් නොදන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ පසුගියදා ගාල්ල, හික්කඩුව, ගලගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවති "ගම සමඟ පිළිසඳර" වැඩසටහනකට එක්වෙමිනි.
"මානව හිමිකම් කවුන්සිලයට අපේ රජයත් එකතුව ගෙනාවා යෝජනාවක් අපිටම විරුද්ධව. අපි ආපු ගමන්ම ඒකෙන් ඉවත් වුණා. දැන් ඒ ඉවත් වීම හින්දා මානව හිමිකම් කවුන්සිලය මේ පාර ඉදිරිපත් කරලා තිබෙන වාර්තාවේ මම නම් දැකපු වැඩිම මේ අවුරුදු ගානක් තුලම චෝදනා වැඩිම. මම දන්නේ නැහැ මේ අවුරුදු එකහමාර තුල මොනවද අපි කරපු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කියලා. ඒකෙ කියනවා මේ රජය බලයට පත්වුණාට පස්සේ මානව හිමිකම් උල්ලංඝනය වැඩිවුණා කියලා. තමුන්නාන්සේලා දන්නවා. තමුන්නාන්සේලානේ මේ රටේ ජිවත් වෙන්නේ."