"පොල්ගෙඩි මනින ගැසට්ටුව"- අපෙන් අහන්න එපා : අදාළ අයගෙන් අහන්න

ඉස්සර අඩි අඟල් වලින් මැන්නේ "පොල් පරාල" දැන් මනින්නේ පොල්ගෙඩි

 

පොල්ගෙඩිවල අඟල් ප්‍රමාණය අනුව මිලක් නියම කිරීමේ ගැසට්ටුව ඉදිරිපත් කළ හේතුව එය ඉදිරිපත් කළ ආයතනයෙන්ම අසා දැනගත යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියේ ය.

ඊට අදාළ ගැසට්ටුව හකුලා ගැනීම සිදු කළ යුත්තේ අදාළ අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරියෙන් බවයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මාධ්‍යවේදියා : පොල්ගෙඩිවලට පාලන මිලක් දැම්මා ප්‍රමාණය අනුව. හැබැයි ජනතාවගෙන් ඇහුවට පස්සේ කියන්නේ පොල් වෙළඳපොලේ ගන්න නැහැ කියලා. මේ ගැන පියවරක් අරන් තියෙනවද?

අමාත්‍ය කෙහෙළිය : කාලෙන් කාලෙට යම් යම් භාණ්ඩවල හිඟයක් ඇතිවෙනවා, මිල අධිකවෙනවා. ඒක ස්වාභාවිකයි. ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. හිඟයක් තියෙනවා නම් ඒ ගැන කටයුතු කරන්න පාරිභෝගික අධිකාරිය යම් යම් සැලසුම් ඉදිරිපත් කරලා තියෙනවා.

මාධ්‍යවේදියා : ලංකාවේ පිළිගත් මිනුම් ඒකකය සෙන්ටිමිටරය ද ? අඟල් ද?

අමාත්‍ය කෙහෙළිය : දෙකම පාවිච්චි කරනවා.

මාධ්‍යවේදියා : ඉස්සර අඩි අඟල් වලින් මැන්නේ පොල් පරාල දැන් පොල්ගෙඩි මනින්නේ අඟල් වලින්. ඔබතුමාලා ආණ්ඩුවක් විදියට මේ ක්‍රියාදාමයට එකඟද? මිනිස්සු මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කරනවා?

අමාත්‍ය ගම්මන්පිල : අදාළ ආයතනයේ මාධ්‍ය හමුවක දී ප්‍රශ්න ටික ඇහුවනම් හොඳයි. ඇයි එහෙම කළේ කියලා කරපු අයගෙන් අහන්නැති එක අපිටත් කරන අසාධාරණයක් කරපු අයටත් කරන අසාධාරණයක්.

Search