රාජ්‍ය සේවා කොමිසමේ ස්වාධීනත්වය කෙලෙසීම රාජ්‍ය සේවයට බරපතල තර්ජනයක්

 

 

යෝජිත 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ රාජ්‍ය සේවා කොමිසමේ ස්වාධීනත්වය කෙලෙසීම රාජ්‍ය සේවයට බරපතල තර්ජනයක්

බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවස යි.

මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කර සිටියේ 19 සහ17 වැනි ව්‍යවස්ථා සංශෝධන මඟින් ඇතිවූ ස්වාධින කොමිෂන් සභා ඔස්සේ රාජ්‍ය සේවකයින්ට ආවරණයක් හිමිවූ නමුත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ එම සමස්ත ආවරණයම අහිමි කිරීම භයානක තත්වයක් බව ය.

"19 වන ව්‍යවස්ථා සංශෝධනය, වගේම 2001 දී ගේනව 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුලෙත් අපේ රටේ ස්වාධින කොමිෂන් සභා ගණනාවක් ඇතිවුණා. විශේෂයෙන්ම ස්වාධින රාජ්‍ය සේවා කොමිසම, ස්වාධින මානව හිමිකම් කොමිසම, ස්වාධින පොලිස් කොමිසම, විගණන කොමිසම ආදී කොමිෂන් වලින් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු ආවරණයක් ලැබුනා. නමුත් එම 20 වැනි සංශෝධනය හරහා ඒ සමස්ත ආවරණය අහිමි කරන්න, අලුයම ලූ කෙලපිඩක් සේ බැහැර කරන්න ඔවුන්ගේ පැත්තෙන් කටයුතු කරලා තියෙනවා. ඒක අතිශය භයානක යි."

ස්වාධින රාජ්‍ය සේවා කොමිසමේ මැදිහත් වීම මත දේශපාලන පලිගැනීම් නමැති නාමකරණය යටතේ විවිධ තනතුරු දීමට පවා නොහැකි වූ බව ඔහු පෙන්වා දෙයි.

 

unnamed 4

 

"නියෝජිතයෝ නම දෙනාම පත් කිරීමේ බලය කලින් තිබුනේ ව්‍යවස්ථා දායක සභාවට. ඔවුන් තමයි මේක නිර්දේශ කළේ. නමුත් දැන් ඒ සියල්ල එයින් ඉවත් කරලා තිබෙනවා. තනි පුද්ගලයෙක් යටතට ඒක අරන් තියෙනවා. පාර්ලිමේන්තු සභාවට පුළුවන් නිකන් බලාගෙන ඉන්න. බලාසිටීමේ සභාවක් පමණයි ඒක. එහෙම නැතුව වෙන කිසිවක් කරන්න පුළුවන් කමක් නැහැ මේ අලුතින් යෝජනා කරලා තිබෙන පාර්ලිමේන්තු සභාවට."

20 ආවොත් සමාගම් 260 ක් විගණනයෙන් ගිලිහෙයි

එසේම, නව ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකා විගණන කොමිසම අහෝසි වී යාමත් සමග රාජ්‍ය සමාගම් 260 ක විගණන කටයුතු කිරීමේ බලය අහෝසි වී යන්නේ යැයි Medialk.com වෙබ් අඩවිය වාර්තා කරයි.

විගණන නිලධාරීන් පළ කළ අදහස් උපුටා දක්වමින් එහි සඳහන් වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව රාජ්‍ය සමාගම් විගණනය කිරීම නිසා ඒම ආයතන තුළ සිදු වූ විශාල මූල්‍ය වංචා සොයාගැනීමට හැකි වූ බව ය.

ඒ  අනුව, නව ව්‍යවස්ථා සංශෝධනය හරහා බලතල නොලැබී යාමෙන් මේ වසරට අදාළ ව රාජ්‍ය සමාගම් වල සිදුවෙමින් පවතින විගණන කටයුතු පවා අඩාල වනු ඇත.

wiganan

විගණන කොමිසම අහෝසි කිරීමේ වරද නිවැරදි කරන්න

විගණන කොමිසම අහෝසි කිරීම සහ රාජ්‍ය ආයතන විගණනයෙන් නිදහස් කිරීම වරදක් බව ජාතික සංවිධාන එකමුතුව නිවේදනය කර තිබෙනවා.

"20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව" මැයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානයේ කැඳවුම්කරු සාහිත්‍යවේදී ගුණදාස අමරසේකර මේ බව අවධාරණය කර ඇත.

විගණන කොමිසම අහෝසි කිරීම සහ යම් රාජ්‍ය ආයතන විගණනයෙන් නිදහස් කිරීම යන වැරදි නිවැරදි කරන මෙන් එමඟින් ඔවුන් ඉල්ලා තිබේ.

©විපක්ෂය

Search