පොලීසියට කරන්නාගොඩ සොයා ගන්න බැරි වෙලා ! ලැජ්ජ නැද්ද?

පොලීසියට කරන්නාගොඩ සොයා ගන්න බැරි වෙලා ! ලැජ්ජ නැද්ද?

2008 සහ 2009 වර්ෂවලදී පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් ගොනු කර ඇති අධිචෝදනා පත්‍ර සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට නැවත සිතාසි නිකුත් කරන ලෙස සිව්වන වතාවටත් කොළඹ මහාධිකරණ පැවැත්වෙන නඩු විභාගයේදී නියෝග කළේය.

මෙම විශේෂ අධිකරණය චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විනිසුරු විනිසුරුවරියන්ගෙන් සමන්විත වේ.

වසන්ත කරන්නගොඩ රාජපක්ෂයන්ගේ සමීපතම හිතවතෙකු ලෙස සැලකේ.

පසුගිය නිදහස් දින උත්සවයේ දී වසන්ත කරන්නාගොඩ වත්මන් නීතිපති දප්පුල ලීවේරාට සහ එකට අසුන් ගෙන සිට අතර ඔහු තවමත් ප්‍රසිද්ධ ජීවිතයක් ගත කරයි.

එසේ නමුත් පොලීසිය කියන්නේ තමන්ට ඔහු සොයා ගත නොහැකි බවයි.

නාවික හමුදාපතිවරයා විසින් සිතාසි භාර දීමේ ක්‍රියාවලිය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තාව මගින් විත්තිකාර කරන්නාගොඩ  තමන් යටතේ සේවය කරන අයකු නොවන බවත් ඔහුගේ ආයතන ප්‍රධානියා තමන් නොවන බවත් සඳහන් කර ඇති බවත් අධිකරණයට දන්වන ලදී.

ඒ අනුව විත්තිකාර වසන්ත කරන්නාගොඩ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මාර්ගයෙන් සිතාසියක් යොමුකරන ලෙස මහධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබේ.

එමෙන්ම අදාල සිතාසියේ පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් විත්තිකරු වෙත යොමු කරන ලෙසත් නියම කළේය.

ඊට අමතරව අදාළ සිතාසියේ පිටපතක් කරන්නාගොඩ මහතාගේ නිවසේ සිටින සේවකයෙකුට හෝ ඥාතියකුට භාර දෙන ලෙසත් එහි පිටපතක් ඔහුගේ නිවසේ ප්‍රසිද්ධ ස්ථානයක අලවන ලෙසත් විනිසුරුවරු නියම කර ඇත.

පොලිස්පතිවරයා විසින් ද වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එමගින් අදාල සිතාසිය ක්‍රියාත්මක කිරීමේ කාර්යය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යොමු කළ අතර එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරන්නාගොඩ  පදිංචිව සිටින බැද්දගාන සහ කිරුළපන ප්‍රදේශයේ පිහිටි නිවෙස් වලට ගියද එහි කිසිවකු නොසිටි බවට කරුණු වාර්තා කර ඇති බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න  අධිකරණය හමුවේ පැවසීය.

මෙය ඉතා ඛේදජනක තත්ත්වයක් බව සඳහන් කර සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා නාවික හමුදාවේ අද්මිරාල් වරයෙකු වන විත්තිකාර කරන්නාගොඩ සොයා ගැනීමට නොහැකි වන තරමටම පොලිස්පතිවරයාගේ බුද්ධි සේවය දුර්වල ද යන ගැටලුව මතු වන බව සඳහන් කළේය.

ඛේදජනක තත්වයක්

විත්තිකාර කරන්නාගොඩ ඉකුත් 14 වනදා මෙම නඩුව කැඳවූ දිනයේ ප්‍රසිද්ධ පාසැලක උත්සවයකට සහභාගී වූ බවත් ඉකුත් 18, 19 සහ 20 වනදා යන දිනවල කොමිෂන් සභාවක් හමුවට ගොස් සාක්ෂි ලබාදී තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පවසා තිබේ.

මෙවැනි වාතාවරණයක් හමුවේ විත්තිකාර කරන්නාගොඩ සොයාගැනීමට නොහැකි යැයි පැවසීම ඛේදජනක තත්වයක් බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා ඇත.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ නාවික හමුදාවේ උසස් නිලයක් හෙබවූ දාහතර වන විත්තිකරු අධිකරණය මගහැර සිටීම සුළුවෙන් තැකිය නොහැකි කරුණක් බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණය සිය අප්‍රසාදය පළකරන බව කියා සිටි සභාපති විනිසුරුවරිය නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළේය.

අදාල විත්තිකරුට සිතාසි බාර දීමට නොහැකිවීම සම්බන්ධයෙන් පොලිසිය ලැජ්ජාවට පත්විය යුතු බව සභාපති විනිසුරුවරිය විවෘත අධිකරණයේ අවධාරණය කර තිබේ.

අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂිකරුවන් 37 දෙනෙකුගේ ප්‍රකාශ වල පිටපත් විත්තිකරුවන් වෙත ලබාදීමට නියමිතව තිබෙන බවත් එම ප්‍රකාශ අඩංගු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබූ මුල් ලිපිගොනු ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත භාර දී තිබෙන බවත් මේ නිසා මෙම නඩුවේ කටයුතු අන්‍යාකාරයකින් අඩාලවීමේ අවදානමක් මතුව තිබෙන බවත් පැවසීය.

විනය ගරුක රටක්

මේ හේතුවෙන් අදාළ ප්‍රකාශ යතුරුලියනය කර ගැනීම සඳහා ජනාධිපති කොමිසම වෙත භාර දී තිබෙන ලිපිගොනු නැවත ලබා ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නිකුත් කළ අතර එම නියෝගයේ පිටපතක් දැනගැනීම සඳහා අදාල ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කරන ලෙස නියම කළේය.

ඉන් අනතුරුව පැමිණිලි පාර්ශවය විසින් නඩුවට අදාළ ලේඛන ගණනාවක් විවෘත අධිකරණයේ දී විත්ති පාර්ශ්වයට භාර දෙන ලදී.

පසුව නඩුව නැවත මාර්තු මස 20 වනදා කැඳවන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

2008 සහ 2009 වර්ෂවලදී පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම, කප්පම් ගැනීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු චූදිතයන් 13 දෙනෙකුට එරෙහිව අධිකරණය විසින් අධිචෝදනා ගොනු කරන ලදී. වසන්ත කරන්නගොඩ එහි හතරවන චූදිතයා ලෙස නම් කර තිබේ.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූයේ නීතියේ පාලනය යටතේ විනය ගරුක රටක් සාදන බවට පොරොන්දු වීමෙන් වුවද සිය අනුගාමිකයින්ට නීතියේ පාලනයෙන් බේරීමට දිගටම මඟහැර යාමට ඔහු අවස්ථාව පාදා ඇතැයි ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත අදහස් දැක්වූ මානව හිමකම් නීතිඥවරියක කියා සිටියා ය.

(srilankabrief.org)

Search