කාල් මාක්ස් නොදුටු කාල් ලාන්තගේ ආයෝජන අපයෝජන ගැන මැයි දින ප්‍රකාශයක්!

කාල් මාක්ස් නොදුටු කාල් ලාන්තගේ ආයෝජන අපයෝජන ගැන මැයි දින ප්‍රකාශයක්!
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මාලිමා (NPP) අමාත්‍යවරයාට රත්තරන් බඩු, යාන වාහන තබා ගැනීම අකැපද?
 කොළඹ තදාසන්න නගරයක තට්ටු නිවාසයක්, කොටස් වෙළෙඳපොළේ ආයෝජන තබා ගන්න බැරිද? ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගම්වල ආයෝජනය කිරීම අපරාධයක්ද?


ලාල්කාන්ත ඇමැතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳ මෙවැනි විවාදයක් සමාජයේ මතුවෙලා තිබෙනවා. වසර 30 ක් ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයේ සිටි මොහු කෝටි ගණනක වත්කම්වලට හිමිකම් කීවේ කොහොමද කියලා ඇතමුන් ප්‍රශ්න කරනවා. ජවිපෙ මාක්ස් -ලෙනින්වාදී පක්‍ෂයක් කීවාට ඔවුනුත් ධනපතියන් නේද කියලා විශ්මය පලකරනවා. බොහෝ දෙනෙක් මාක්ස්වාදයටත් පහර දෙමින්ම ලාල්කාන්තගේ වත්කම් ගැන විවේචනය කරනවා.
 
WhatsApp Image 2026 04 20 at 10.01.06
 
මාක්ස්වාදයට අනුව සමාජයේ තිබෙන්නේ ප්‍රධාන පංතීන් දෙකයි. ප්‍රාග්ධන හිමියා සහ ශ්‍රමය විකුණන්නා. නැතිනම් ධනපතියා හා කම්කරුවා. මේ මූලික පංති දෙකේ එකතුවෙන් කැරෙන නිෂ්පාදනය ආර්ථිකයට විවිධ සේවාවන් සපයා ජීවත්වන අතරමැදි සමාජ තීරුවක් සිටිනවා. මේ සමාජ තීරුව මාක්ස්වාදයේ හඳුන්වන්නේ "සුළු ධනේෂ්වරය" කියලා. මෙන්න මේ පාදම මත තමයි JVP  කියන පක්‍ෂය ගොඬනගලා තියෙන්නේ.
සුළු ධනේෂ්වරයේ ස්වභාවය කොහොමද? ඔවුන්ට කුඩා පරිමාණයේ නිෂ්පාදන මාධ්‍ය තිබෙන, ඇතැම් විට සේවකයන් සිටියත් තමන්ද ශ්‍රමය වැය කරන, ආර්ථික වශයෙන් ඕනෑම මොහොතක පහළට වැටෙන්නට පුළුවන් සමාජ තීරුවක්. ඔවුන්ගේ මේ ආර්ථික රටාව නිසා කම්කරු පන්තියට වාගේ ස්ථාවර වැටුපක් හෝ නැහැ. නමුත් ඔවුන් සැම විටම සිතන්නේ අනාගතයේදී තමන්ට විශාල ධනපතියෙක් බවට පත්වෙන්න පුළුවන් කියලා. මේ ව්‍යාජ සිතුවිල්ල නිසාම මොවුන්ගේ දෘෂ්ටිවාදය ධනපති දෘෂ්ටිවාදය විනා මාක්ස්වාදී දෘෂ්ටිවාදය නම් නොවේ.
 
දෘෂ්ටිවාදය ධනපති  වුවත් ඔවුන්ගේ ආර්ථික අස්ථාවරභාවය නිසා තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරන්න යන්නේ නැහැ. මහ පරිමාන ෆැක්ටරි, කර්මාන්තශාලා හදන්න යන්නේත් නැහැ. මොකද ධනේෂ්වර දෘෂ්ටිවාදය විසින් ඔවුන්ගේ සිත්තුළ බියක් ජනිත කර තිබෙනවා මහා පරිමාණ වැඩ වලට අත ගහලා වැරදුනොත් තමන්ව කම්කරුවෙක්ගේ තත්වයට වැටෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඔවුන් කොටස් වෙළෙඳ පොළ, ක්‍රිප්ටෝ කරන්සි, ක්‍ෂුද්‍ර මූල්‍ය වැනි ආයතනවල තමන්ට ලැබෙන ලාභ මුදල් ආයෝජනය කරනවා. ලාල්කාන්ත ඇමැතිවරයා වරක් නිවැරදිව කිව්වාසේම මේවා සූදු කෙළීමක්.
 
මහ පරිමාණ සමාගම්වල කොටස්කරුවෙක් බවට පත්වීමෙන් මමත් දැන් ධනේෂ්වර පංතිය සමඟ එක්වෙලා ඉන්නවායැයි සුළු ධනේෂ්වරයා යටි සිතින් තෘප්තිමත් වෙනවා. එවගේම මෙලෙස ආයෝජනය කිරීමෙන් දවස පුරා වෙහෙස මහන්සි නොවී ලාභයක් උපයා ගන්න පුළුවන් කියලා මේ සුළු ධනේෂ්වරය තේරුම් ගන්නවා. රහසින් ධනපතියෙක් වෙමින් එළිමහනේ දුගියෙක් ලෙස පෙනී සිටින මෙවැනි ප්‍රතිවිරෝධතාවක යන ගමනක් සුළු ධනේෂ්වරයාට උපතින්ම උරුමයි. එමනිසා ඔහු හැම විටම ගන්ධබ්බයෙක්, දෙබිඩ්ඩෙක් බවට පත්වෙනවා.
 


ආණ්ඩු බලයක් ලද විටදී මේ දෙබිඩි අන්තර්භවයෙන් මිදී සෙමෙන් සෙමෙන් සුළු ධනේෂ්වර හැව අරිමින් තමාගේ විඥ්ඥානයේ තෙරපෙමින් තිබූ ධනපති ආශාව ක්‍රියාත්මක වීම පටන් ගන්නවා. එම ආශාව ක්‍රියාත්මකවීම තමයි ධනේෂ්වර සමාජ, ආර්ථික, දේශපාලන පමණක් නොව සංස්කෘතික වෙනස්වීමක් ලෙසින් අපට දැක ගන්නට තිබෙන්නේ. අපි උදාහරණ කීපයක් බලමු.

රුපියල් ලක්‍ෂ 4 කට වැඩි වැටුපක් ලබන්නෙක් රුපියල් 55,000 ක පමණ මුදලක් බදු වශයෙන් රජයට ගෙවන්න ඕන. නමුත් ජනාධිපති රනිල්ගේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට විශේෂ වරප්‍රසාදයක් ලබා දෙමින් ඔවුන්ට රු.40,000 ක පමණ බදු සහනයක් ලබා දුන්නා. මොකද ධනේෂ්වර ක්‍රමය නඩත්තු කරමින් එය පවත්වාගෙන යන ආයතනය තමයි  පාර්ලිමේන්තුව කියන්නේ. එමනිසා එහි නියෝජිතයන්ට සාමාන්‍ය ජනතාවට වඩා විශේෂ වරදාන වරප්‍රසාද දෙන්න ඕන. ඒක තමයි ධනපති ක්‍රමය. නමුත් ජනතාවට නැති කිසිම වරදානයක්, වරප්‍රසාදයක් එපා කියලා ආණ්ඩු බලය ගත්ත "නිර්ප්‍රභූන්" රනිල්ටත් එහා ගිහින් මන්ත්‍රීවරුන්ට තවත් රු,7,500 ක බදු සහනයක් ලබා දුන්නා.  
 
672465319 10164546453340185 5391793069668038893 n
 
විරුද්ධ පක්‍ෂවලින් කළ චෝදනා ව්‍යාජ ඒවා බවට පත්කරමින් ජනමාධ්‍ය පිරිවරා පන්සල් ගානේ යනවා. පෙරහැර කරනවා. මඟුල් බෙර, සක් හඬ මැද නාමපුවරු විවෘත කරනවා. ධනපති ආර්ථික ක්‍රමයවන ගෝලීය ධනවාදය එක්ක අත්වැල් බැඳගෙන ගමනක් යනවා. 2002 -  2004 කාලයේ අගමැති රනිල් වික්‍රමසිංහ ගෙනා ලිබරල් දක්‍ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වූ "යළි පුබුදමු ශ්‍රී ලංකා" වැඩසටහන ක්‍රියාත්මක කරන්න ජවිපෙ එදා ඉඩ දුන්නේ නැහැ. නමුත් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති යටතේ මාලිමා ආණ්ඩුව එම වැඩ සටහන "හෙමිහිට යටින් කරගෙන යනවා." ඒනිසා ධනේෂ්වර දෘෂ්ඨිවාදීන්ට ආණ්ඩු විරෝධී සටන්පාඨ අහිමි වෙලා හතර අතේ දුවනවා.
කුමාර ජයකොඩි හිටපු අමාත්‍යවරයාට බලයට එන්නට පෙර අත්භවයක දී (සාපේක්‍ෂ ක්‍ෂුද්‍ර) මුල්‍ය වංචාවක් කළ බවට අධි චෝදනා නැගී තිබුණා. ආණ්ඩුවට වසරක් පිරෙද්දී ජයකොඩි අමාත්‍යවරයාගේ ධුර කාලය තුලදී සිදුවූ මහා පරිමාන ගල් අඟුරු වංචාව මේ ධනේෂ්වරයට ඇතුල්වීමේ ප්‍රතිඵලයක්. ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න කලින් දවසේ එතුමා රැකගන්න මාලිමාණ්ඩුව දරපු වීරිය ඔප්පු කරන්නෙත් මේ පවතින තත්වයම තමයි.
 


එමනිසා විරුද්ධ පක්‍ෂයේ සිටියදී කළ ප්‍රකාශ හා භාවිතාව අද ඔවුන් කරන්නා වූ ප්‍රකාශ සහ භාවිතාවේ ප්‍රතිවිරුද්ධය බවට පත්වී තිබෙනවා. සුළු ධනේෂ්වරයේ තිබෙන්නා වූ නෛසර්ගික ධනේෂ්වර චින්තනය නිසා තමයි මෙවැනි විපරීතභාවයක් ජවිපෙ - මාලිමා නායකයන්ගෙන් පිළිඹිබු වන්නේ. එහෙම නැතිව ඒවා පුද්ගලානුබද්ධ ප්‍රශ්න නොවේ.


වික්ටෝරියානු සමාජයේ දෙබිඩි පිළිවෙතට පහර දෙන රොබට් ලුවී ස්ටීවන්සන් නැමති ලේඛකයාගේ විශිෂ්ටතම නවකතාවක් තිබෙණවා "ජෙකිල් සහ හයිඩ්" (Jekyll and Hyde) කියලා. එකම පුද්ගලයෙක් අවස්තා දෙකකදී මුළුමනින් වෙනස් යහපත් ජෙකිල් හා අයහපත් හයිඩි කෙනෙක් සිටිනා බව ඔහු මේ කෘතියෙන් මනාව පෙන්වා දෙනවා.


මේ විපර්යාසය කුමක්දැයි මාක්ස්වාදී න්‍යායික විමසුමක් කරගත නොහැකිවුනාම පැණි වරකාවලට වගේ මුං කැවුම්වලටත් හෙණ ගහනවා. එතකොට දෙපැත්තට බෙදිලා කොට්ට පොර සෙල්ලම කරනවා. මොළේ කුරුවල් වෙච්ච ඇතමුන් මේ කොට්ට පොර සෙල්ලම් "දෙවැනි බාබු" ලෙස අර්ථ දක්වනවා. ජවිපෙ හොඳ ළමයි අධි පරිහෝජන රටාවකට වැටුණේ ජේආර්ගේ විවෘත ආර්ථිකය නිසායැයි දෙස් දෙවොල් තබමින්ම විරුද්ධවාදීන් මර්දනය සඳහා ජේආර් කෙනෙක් නොවන්නේ මන්දැයි අනුරකුමාර ජනාධිපතිවරයාගෙන් අහනවා. තවත් පැත්තකින් ධනේෂ්වරයේ පරිවාර ආරක්‍ෂකයන්වන සුළු ධනේෂ්වරයන්ද ජවිපෙ - මාලිමා මේ පරිවර්තනයට පහර දෙනවා.

ඔවුන් ජවිපෙ -මාලිමාවන්ගේ  කුල ප්‍රශ්න, ඉංග්‍රීසි භාෂාව කතා කිරීම, ටයිකෝට් එකට හැඩ නොවීම, කනබොන විදිය, ශරීර ලක්ෂණ වැනි අඩුපාඩු පෙන්වමින් උසුළු විසුළු කරනවා. එවැනි අඩුපාඩු නිසා ධනපති පංතිය අවලස්සන කරන්නන්,ධනපති දෙවොලේ කැත කරන්නන් විදියට සම්භාව්‍ය ධනපති පංතිය වෙනුවෙන් පෙනී සිටින්නන් තමයි මේ ඇණුම් බැණුම් කරන්නේ. මේ දුෂ්ඨ ක්‍රියාවේ වඩාත්ම පෙරමුණේ සිටින්නේ රනිල්වාදීන්. සිය "පූජනීය ධනේෂ්වරයට" අපවිත්‍ර, කිළුටු සුළු ධනේෂ්වරය ඇතුල්වීමට කරන්නා වූ උත්සාහයට ඔවුන්ගේ දැඩි විරෝධයක් තිබෙනවා.
 
673890395 1743167253747883 1163083284773547463 n       
නමුත් මම උත්සාහ කරන්නේ එල්ලවී ඇති චෝදනාවන් මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් විචාරයක් කරන්න. මොකද චෝදනාවන්ට ලක්වෙලා සිටින්නේ මාක්ස් -ලෙනින්වාදී යැයි අඳුන්වා ගන්නා පක්‍ෂයක සාමාජිකයන් නිසා. එවැනි සංදර්භයක් තුළ කම්කරු නායකයෙක්, මාක්ස් - ලෙනින්වාදියෙක් ලෙසින් සමාජය ඉදිරියේ පෙනී සිටින්නෙක්  කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සුරාකෑමේ ( exploitation) අපයෝජනයක්. මොකද කොම්පැනියක, ෆැක්ටරියක කොටස් මිලදී ගන්නේ ඒවා උපයන ලාභයෙන් කොටසක් තමන්ටත් ලබා ගන්න.
ප්‍රාග්ධන හිමියාට මේ ලාභය ලැබෙන්නේ කොහොමද? ප්‍රාග්ධන හිමියා විසින් කම්කරුවාගෙන් ලබා ගන්නා වූ අතිරික්ත ශ්‍රමයෙන්. කාල් මාක්ස් මෙය හැඳින්වූවේ ශ්‍රම සූරාකෑම කියලා. එසේනම් කම්කරුවාගේ ශ්‍රමයේ නිසි වටිනාකම නොගෙවා සොරා ගන්නා ලද ලාභයෙන් කොටසක් තමයි කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කිරීමෙන් ලබා ගන්නේ. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, කේ.ඩී.ලාල්කාන්ත කම්කරු නායකයා කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළත් ආදායමක් ගන්නේ එලෙසම තමයි. ඔහු එසේ කර තිබෙනවා නම් එය සදාචාරාත්මක විනිශ්චයකට එහා ගිය දේශපාලන හා පන්ති ප්‍රශ්නයක්.
 
එහෙම වෙන්නේ කොහොමද? කොටස් වෙළඳපොළේ ආයෝජනය කළා කියන්නේ නීත්‍යානුකූලව ධනේශ්වර පන්තියේ කොටස්කරුවෙක් වුණා කියන එක. එවිට තමන්ගේ   ආයෝජනයට උපරිම ලාභයක් ලබා ගැනීම සඳහා මැදිහත්වීමක් කරන්න ඕනේ. කොහොමද ඒ මැදිහත්වීම කරන්න වෙන්නේ. කම්කරු අයිතීන්, වරප්‍රසාද කප්පාදු කරන්න,   කම්කරු වැටුප් අවම කරන්න, ආර්ථික ඉල්ලීම් මුල්කරගත් වැඩ වර්ජන කඩා කප්පල් කරන්න, සාමූහික ගිවිසුම් තුළ කම්කරුවන් හිර කරන්න, කම්කරුවන්ගේ වෘත්තීය සමිති සංවිධාන බිඳ දමන්න මෙන්න මෙවැනි ක්‍රියාවන්ට වක්‍රව හෝ ආණ්ඩු බලය පාවිච්චි කරමින් ඝෘජුව ධනපති පංතියට සහාය දෙන්නම වෙනවා. අම්බැක්කේටත් වඩා කැටයම් දාලා මොන මොන පද පෙරළි කළත් මේක තමයි සත්‍යය.
ලාල් කාන්ත ඇමැතිවරයා ක්‍ෂුද්‍ර මුල්‍ය ණය ලබාදෙන සමාගම්වලත් මුදල් ආයෝජනය කළ බවට සමාජ කතාබහක් තිබෙනවා. ඔහුගේ දෙවැනි නිර්ධන නායකයා වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයාටත්, මාලිමාවේ හරිණී අමරසූරිය අගමැතිනියටත් ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගම්වල මුදල් ආයෝජනය කර තිබෙන බවට චෝදනා එල්ල වෙනවා. එහෙම වුනත් අගමැතිනියට එය ප්‍රශ්නයක් නොවන්නේ තමන් මාක්ස් - ලෙනින්වාදියෙක් නොවේ කියලා ඇය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරලා තිබෙන නිසා.
 


 “දිළින්දන් හට සහයෝගීතාවය දැක්වීමේ උපදේශාත්මක සමූහය ( CGAP-Consultative Group to Assist the Poor ) විසින්  නිර්වචනය කර ඇති පරිදි ‘ක්‍ෂුද්‍ර මූල්‍ය’ යනු අඩු ආදායම්ලාභීන්ට මූල්‍ය සේවා සැළසීමයි.” මේ ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍ෂුද්‍ර මුල්‍ය ණය යනු කුමක්ද යන්න නිර්වචනය කර ඇති ආකාරයයි.

ඇත්ත, අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීමේ මෙවලමක් විදියට ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් ධනේෂ්වර සමාජයක් තුළ එහෙම සිදු වෙනවද? නෑ. සිද්ධ වෙන්නේ ඉතාමත් ඉහළ පොලී අනුපාතිකයකට ශරීර ඇපමත ණය ලබාදීම. එසේ ණය අරගෙන ආරම්භ කරන ව්‍යාපෘතිය අසාර්ථක වුනොත් ඔවුන් දුප්පත්කමේ අඩියටම, කබළෙන් ළිපටම වැටෙනවා. එතකොට සිදුවන්නේ දුප්පතුන්ගෙනුත් දුප්පතුන් සූරා කෑමේ නවීන උපක්‍රමයක් බවට මේ ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් පත්වීම. ධනේශ්වර පන්තිය වෙනුවෙන් සුළු ධනේශ්වරය තවදුරටත් සූරා කන නවීන මෙවලමක් බවට මේ ණය ක්‍රමය පත්වීම. මොකද ලබාගත් ණය මුදලින් ලාභයක් උපයා නැතත් ඒ සඳහා අධික පොලියක් ගෙවන්න වෙන නිසා.
 
මෙය මාක්ස්වාදී දෘෂ්ටිවාදයට අනුව වැඩපොලේදී සූරා කෑමට ලක්වෙන කම්කරුවා, ගමේ පීඩිතයා ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් මගින් නැවත කරන්නා වූ සූරාකෑමක්. එමනිසා අද පවතින ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගම්වල මාක්ස් - ලෙනින්වාදියෙක්ට නොව සහකම්පනයක් හෝ තිබෙන පුද්ගලයෙක්ට මුදල් ආයෝජනයක් කරන්න බැහැ. ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් පිළිබඳ මාක්ස්වාදී  විචාරයන් ඉතා නිවැරදි බව පසක් කරන වාර්තාවක් පසුගිය දිනක දැක ගන්නට ලැබුණා. බීබීසීය විසින් ඉදිරිපත් කර තිබුණ ශ්‍රී ලංකාව පිලිබඳ එම වාර්තාව මෙසේ පවසනවා.
wfewewfwe
 
"සියයට 38 ක 48 ක පමණ ඉතා ඉහළ පොලී අනුපාත. දිළිඳුතම පිරිසෙහි සිටින සමස්තයක් ලෙස ලක්‍ෂ 28ක් පමණ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටී. ඉන් බහුතරය (ලක්‍ෂ 24ක්) කාන්තාවන්‍ ය. පසුගිය වසර 03 ක කාලයේදී ණය ආපසු ගෙවීමට නොහැකි වීම නිසා 200 කට අධික පිරිසක් කාන්තාවන් සිය දිවි නසාගෙන ඇත. මෙම අර්බුදය තුළ දැවැන්ත කාන්තා හිංසනයක් නිර්මාණය වී ඇත. මෙරට 15,000 ක් පමණ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ආයතන පවතින බව සදහන් වේ.ණය එකතු කරන නිලධාරීන්ගේ ලිංගික අඩම්තේට්ටම්වලට මුහුණ පෑමට පමණක් නොව ලිංගික අල්ලස් පවා දීමට සිදුව ඇති බවටද ණය හිමියන් පැවසූ බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

මේ තත්වයන්ගෙන් හිංසනයට ලක් වූ කාන්තාවන් හා ණය කරුවන් ගලවා ගැනීමට ආණ්ඩු බලය ලබාදෙන ලෙස ජාතික ජන බලවේගය ඉල්ලා සිටියා. ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු මේ වෙනුවෙන් සම්මත කරන ලද නව කෙටුම්පත ගැන "යුක්ති සාමූහිකය" නම් වූ සංවිධානය බරපතල චෝදනාවන් එල්ල කරනවා.

cw46hw46b4
"ක්‍ෂුද්‍ර මූල්‍ය සහණ නියාමන අධිකාරි නව පනත් කෙටුම්පත" ජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් නියම කරන ලද ප්‍රාග්ධන හිතකාමී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ස්ථාපනය කිරීමට මිස කොල්ලකාරී ණය දෙන්නන්ගෙන් වින්දිතයන්ගේ අවශ්‍යතා ආරක්‍ෂා කිරීමට නොවේ. 2016 ක්‍ෂුද්‍ර මුල්‍ය පනතේ සිට රනිල් වික්‍රමසිංහගේ 2023 දැක්ම දක්වාම ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙන ණය හරහා මෙම ප්‍රතිගාමී නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කර ඇත."

දැන් ප්‍රශ්නය පැන නඟින්නේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත කම්කරු නායකයාට හා දෙවැනි කම්කරු නායක වසන්ත සමරසිංහට එල්ල වී තිබෙන චෝදනා සත්‍යද යන්නයි. කොටස් වෙළෙඳපොළේ, ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගමවල මේ දෙදෙනා මුදල් ආයෝජනය කර තිබේද?  ඒවා සත්‍යනම් ජවිපෙ මොවුන් දෙදෙනා වෙනුවෙන් කුමන තීරණයක් ගන්නේද? චෝදනාත් සත්‍යනම් පක්‍ෂය ඔවුන් වෙනුවෙන් කිසිම පියවරක් නොගන්නේ නම් ජවිපෙට මාක්ස් - ලෙනින්වාදී පක්‍ෂයක් ලෙස තව දුරටත් පෙනී සිටීමට සදාචාරාත්මක අයිතියක් තිබේද?
 
වෙනදා විචිත්‍රවත් මැයිදින පවත්වන ජවිපෙට මෙදා පුළුවන් රාජ්‍ය අනුග්‍රහය සහිතව වඩාත් විචිත්‍රවත් මැයිදිනයක් කරන්න. චෝදනා සත්‍ය නම් එකී මැයි දිනයේ ලාල්කාන්තලා, සමරසිංහලාත් සිටිනවානම් ජවිපෙට පුළුවන් විවෘත ප්‍රකාශයක් කරන්න. අපි මෙතැන්සිට ගමන් කරන්නේ ධනේෂ්වර සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික මාවතේ කියලා ජනතාවට සත්‍ය කියන්න. එවැනි නිර්භීත තීන්දුවක් ප්‍රකාශයට පත්කළොත් රනිල්ගේ සිට සියළුම ධනපතීන් අර්බූදයට යනවා සත්තයි. ජනතා අධිකරණයෙන් ජවිපෙ නිදොස්කොට නිදහස් වෙනවා. ඊට පස්සේ ඉතිරි වෙන්නේ වත්කම් උපයා ගත් හැටි අධිකරණයට පහදා දෙන්න. සල්ලි තිබෙනවානම් දක්ෂ නීතිඥයෝ ඉන්නවා. ඉන්පසු ඔය පොතේගුරුවාදී ජවිපෙ කේඩර්වාදීන් අතලොස්සක් ඇර සියල්ලෝම සතුටින් ජීවත් වේවි.
 
එමනිසා  "පියවරක් ඉදිරියට, පියවර දෙකක් පස්සට" නොතබා තැබූ පියවර ඉදිරියටම තබන්න. කණ කොක් සුද පෙණෙන්නේ ඉගිලුනු විටදී කිව්වලු.

koththi(සටහන | ඥානසිරි කොත්තිගොඩ)

BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
theleader,lk 

Search