වම දකුණ එකතු වන පෙර මග ලකුණු

වම දකුණ එකතු වන පෙර මග ලකුණු

රනිල් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මේ සතිය ආරම්භයේ දී ම ය.

ඒ ගමනේ මූලික අරමුණ වූයේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කිහිපයකට ලක්වීමයි. රනිල් සිංගප්පූරුවට යන්නට පෙර පක්ෂයේ ප්‍රධානීන් සියලු ම දෙනා කැඳවීය. වජිර, තලතා, සාගල, අකිල, හරීන් ඇතුළු නායකයෝ එහි වූහ. තමා රටේ නැති කාල වකවානුවේ දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව රනිල් එහි දී ඔවුනට උපදෙස් ලබා දුන්නේ ය.

රනිල්ගේ ප්‍රතිකාර කටයුතු සිංගප්පූරුවෙිදී බදාදා දිනයේ දී සිදු කෙරිණි.රනිල්ට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ වෛද්‍ය කටයුතු සාර්ථක බවයි.

 

ජී. එල්. බාර ගත් වගකීම

සතිපතා කළමනාකරණ කමිටුව රැස්කර තීරණ ගැනීම පිළිබඳවත්, මේ වන විටත් අරඹා ඇති පක්ෂ යාන්ත්‍රණයේ ඇතැම් වැඩ සම්බන්ධයෙනුත් රනිල් පක්ෂයේ නායකයින්ට නැවත සිහිපත් කිරීමක් කළේ ය. රනිල්ට මේ ගමන යෑමට සිදු වූයේ හදිසියේ ය. ඔහු කලින් බාරගත් වැඩ කටයුතු රාශියක් විය. හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කැඳවූ රනිල් තමාට ඊට සහභාගී වීමට නොහැකි වන හෙයින් ඒ වැඩ කටයුතු සඳහා සුබ පැතුම් පණිවිඩ ආදිය යවා මෙහෙයුම් කටයුතු කරන ලෙස දැනුම් දුන්නේ ය.

රටේ මාධ්‍ය හැසිරීම් පිළිබඳ වග විස්තර දැනුම් දෙන්නැයි වගකීම පවරනු ලැබූයේ  හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නට ය.ප්‍රධානතම වැඩකටයුත්ත බාර දුන්නේ මහාචාර්ය ජී එල් පීරිස්ටයි. ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරගෙන ඉදිරියට යන ගමන ගැන මෙහි දී විස්තර කළ රනිල් තමා රටේ නොසිටින කාලයේ දී එම වැඩ කටයුත්ත වඩා හොඳින් කරගෙන යනු ඇතැයි විශ්වාසය පළ කළේ ය. එහි දී රනිල් සතුටට පත්වන ආකාරයේ පිළිතුරක් ලබා දුන් ජී. එල්. වගකීම ඉතා සතුටින් බාර ගත්තේ ය.

 

 

වම දකුණ එකතුවක

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ වාමාංශික පක්ෂ අතර සාකච්ඡාවක් කොමියුනිස්ට්  පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. ඊට කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ,නියෝජනය කරමින් පක්ෂ නායකයෝ සහභාගී වූහ. වාමාංශික පක්ෂ නායකයින්ට අමතරව ජී. එල්. ගේ කැඳවීම පරිදි ගම්මන්පිල, ටිරාන් අලස්, දුමින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශන, චන්න ජයසුමන, සර්වජන ලේකම් රන්ජන් සෙනෙවිරත්න, සුගීෂ්වර, ප්‍රේමනාත් දොළවත්ත සහභාගී වූහ. කොමියුනිස්ට් පක්ෂයෙන්:  ඩියු ගුණසේකර, එහි සභාපති වීරසුමන වීරසිංහ, ලේකම් වෛද්‍ය වීරසිංහ සහභාගී වූහ. මෙම විශේෂ සාකච්ඡාව සඳහා පක්ෂ  දහයක නියෝජිතයෝ එක් වූහ.

glp

 

කළමනාකරණය රහිත දූෂිත ආණ්ඩුවක්

ජී.එල් මේ පුළුල් එකතුවේ අරමුණ පැහැදිලි කළේය.

 

මෙහි පැමිණි වාමාංශික පක්ෂ සියල්ලටම දිගු ඉතිහාසයක් තිබෙන බව  සඳහන් කළ ජී. එල්. ඒ වාගේම ඒවාට අනන්‍යතාවක් තිබෙන බව කීය.ඒ පක්ෂ වල අනන්‍යතාවය රැක ගනිමින් පොදු වැඩපිළිවෙළකට අවතීර්ණ වීම අපේක්‍ෂාව බව මෙහිදී ජී.එල් සඳහන් කළේය.

 

" අද රට බරපතළ අර්බුදයකට මුහුණ දීලා සිටින්නේ. දැන් ආණ්ඩුව හැමදේටම යුද්දේ ඉස්සරහට දාලා ඇඟ බේරගන්නවා.නමුත් ඒක ඇත්ත තත්ත්වය නෙමෙයි. විදුලිය නැතිවීමේ විශාල අවදානමක් තියෙනවා. ආසියාවේ කිසිම රටක මෙහෙම ප්‍රශ්න ඇති වෙලා නෑ. අපේ රට මේ තත්ත්වයට පත්වීමට හේතුව වන්නේ ආණ්ඩුවේ දූෂණ සහ කළමනාකරණයක් නොමැති වීමයි. ගල් අඟුරු වංචාව සහ ඉදිරියේදී ලයිට් කපන්නට සිදුවීමේ සෘජු සම්බන්ධයක් තිබෙනවා. 

ඒ වගේම ගල් අඟුරු බාල වීම නිසා ලංකාවේ ඩීසල් වලින් විශාල ප්‍රමාණයක් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා වැය කරන්නට සිදු වී තිබෙනවා.ඒකත් වංචාවේ ප්‍රතිඵලයක් තමයි. දැන් කිව්. ආර්. කෝඩ් එකක් ගෙනල්ලා තිබුනත් හැම තැනම ඉන්ධන පෝලිම් තියෙනවා. මේ කිව්. ආර්. කෝඩ් එක 2023 අවුරුද්දේ හඳුන්වලා දීමෙන් පසු අද වෙනතුරු එහි කිසිම යාවත්කාලීන කිරීමක් සිදුවී නැහැ. ආණ්ඩුවත් එහි තිබිච්ච එක එහෙම්මම ගෙනල්ලා අත ඇරියා මිසක් කිසිම යාවත්කාලීන කිරීමක් කළේ නෑ. ඒකෙන් තේරෙන්නේ මේ ආණ්ඩුව කිසිම දේකට සූදානමක් නෑ කියන එක.

ඉන්ධන පිරවුම් හල අසලට භූතයො ඒවි ද...?

ඊළඟට තාවකාලිකව තෙල් ගන්න යනවා. ඉන්ධන නැති නිසා කෘෂි අස්වනු කපා ගන්නට නොහැකි වීම විශාල ප්‍රශ්නයක් වෙලා. තෙල් ගන්න ක්‍රමවේදයක් නැති නිසා සුනාමි, භූතයා යන්ත්‍ර ෂෙඩ් ළඟට පටවගෙන එන්න සිදුවෙලා. ඉන්ධන නැත්නම් බයිසිකලෙන් වැඩට යන්නැයි ඇමතිලා දොස්තරලාට කියනවා. දැන් මේ ආණ්ඩුව රටට මහා විහිළු සපයන තැනක් බවට පත්වෙලා. 

සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න කිසිම වැඩපිළිවෙලක් නෑ.සමස්ත ක්‍රියාදාමයම අවුලක් බවට පත්වෙලා. මේ අය තෙල් අර්බුදය ඇතිවෙන්න කලින් මුලින්ම කිව්. ආර්. කෝඩ් එක හඳුන්වා නුදුන්නේ එහි ගෞරවය කාංචනටත් රනිල්ටත් යාවි කියලා බයෙන්. ඒ වගේ උද්දච්ච ඉරිසියාවෙන් පිරුණු ආණ්ඩුවක් තමයි මේ.

බදාදා නිවාඩු දිනයක් කලාට ඒකත් එක්ක සමගාමීව තෙල් පරිභෝජනය අඩු කරන්න ඉදිරිපත් කළ යුතු පියවර කිසිම දෙයක් අරගෙන නෑ. සතියේ දින නිවාඩුවක් බවට පත්කිරීම මුලින්ම කළේ පිලිපීනය.ඒ උදවිය ඒක කළේ සැලැස්මකට අනුව. ආයතන විශ්වවිද්‍යාල ආදිය වසා දැමීමේ තීරණය මුලින්ම ගත්තේ බංගලාදේශය. ඒකටත් ඔවුන්ට සැලැස්මක් තිබුණා. තායිලන්තය වියට්නාමය වගේ රටවල් ද මේවාට පියවර ගත්තා. හැබැයි ඔවුන් ඒ පියවර ගනු ලැබූයේ සමස්තයම ආවරණය වන පරිදි පුළුල් සැලැස්මකට අනුවයි. ලංකාවට එවැනි කිසිම අත්දැකීමක් නෑ.''

 

ජී.එල් රටේ වත්මන් තත්ත්වය ගැන එලෙස දීර්ඝ විස්තරයක් කළේ ය.

 

සජිත් තවමත් වෙනම

එහිදී වාමාංශික පක්ෂ නියෝජිතයන් ගේ අදහස වූයේ ආණ්ඩුවට මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු යැයි යන බලපෑම කළ යුතු බවයි. මේ ආණ්ඩුව කිසිවකට ඇහුම්කන් නොදෙන බවත් නමුත් ඒ තත්ත්වය වෙනස් කරමින් අන්‍ය මතයන්ට ඇහුම්කන් දෙන තත්ත්වයකට ආණ්ඩුව ගෙන ආ යුතු බවත් පක්ෂ නායකයින් ගේ අදහස විය. ජනතා සහන දෙන වැඩපිළිවෙළකට එකතු විය යුතු බව පක්ෂ නායකයන් ගේ පොදු එකඟතාව විය. ජී. එල්. මෙහි දී පක්ෂ නායකයන් අමතමින් තවදුරටත් පැවසූයේ තම කණ්ඩායම මීට පෙර සජිත්, නාමල්, දිලිත් යන නායකයන් ද හමුවූ බවයි. මේ වැඩපිළිවෙලට සජිත් හැර අනෙක් සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක්ව ක්‍රියා කිරීම කැපී පෙනෙන බව එහිදී පක්ෂ නියෝජිතයන් රැසකගේ අදහස විය.

 

saji

 

සිංගප්පූරුවෙන් ජී. එල්. ට ඇරයුමක්

ජාත්‍යන්තර සබඳතා සහ සාම ක්‍රියාදාමය සම්බන්ධයෙන් දෙසුමක් පැවැත්වීම සඳහා සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයට එන්නැයි ජී. එල්. ට  ඇරැයුමක් ලැබිණි. දකුණු ආසියා කලාපයේ සිසු සිසුවියෝ මෙය සංවිධාන කළහ. එහි මුලසුන දරන ලද්දේ එම සරසවියේ අධ්‍යක්ෂ මහාචාර්ය ඉක්බාල් විසිනි. එම දෙසුමෙන් පසු ප්‍රශ්නෝත්තර වටයකට ද ජී.එල් සහභාගී විය. රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද, සිවිල් සංවිධාන නියෝජිතයෝ ද විද්‍යාර්ථීහු ද මීට සහභාගී වූහ.

 

image

වජිර ගෙන් ජවිපෙට බරපතළ චෝදනා

වජිර මේ සතියේ කළ ප්‍රකාශයකින් පසු ආණ්ඩුවේ ඇත්ත නිරුවත බොහෝ දෙනෙක් දැක බලාගත්තේය.

එහිදී වජිර නැගුවේ ප්‍රබල චෝදනාවකි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අලුත් වැඩියා කර සංවර්ධනය කිරීමට ගත් උත්සාහයන් තුනක් ම ව්‍යවර්ථ කළේ ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ බව වජිර එහිදී චෝදනා කළේ ය. එම තෙල් ටැංකිවල අයිතිය කාට තිබුණත් මෙවැනි අවස්ථාවක එහි ප්‍රයෝජනය ලැබෙන්නේ මෙරට ජනතාවට බව වජිර එහිදී කීය.

" රනිල්  පාලනය යටතේ 2002-2004 යුගයේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමට විධි විධාන යෙදුවා. ඒ අවස්ථාවේ දී ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ව්‍යාජ භීතියක් මවමින් ඒ කටයුතු අඩාළ කරනු ලැබුවා.

නැවත වතාවක් 2015-2020 කාල වකවානුවේදී රනිල්  අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දීය රජයේ ද සහාය ඇතිව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කර ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහයක් ගත්තා.ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම නිසා එම කාර්යයත් යටපත්ව ගියා.

නැවත වතාවක් රනිල්  ජනාධිපතිවරයා ලෙස 2022-2024 වකවානුවේදී තෙල් ටැංකි සංවර්ධනය කිරීමට ගත් උත්සාහය ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය නිසා ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ.

මේ අවස්ථා තුනෙන් එකක දී හෝ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමට අවස්ථාව ලැබුණා නම් වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න හමුවේ රටට අවශ්‍ය තෙල් ගබඩා කිරීමට ඉඩ ලැබෙනවා.

එම ටැංකිවල අයිතිය කාට තිබුණත් ඒවායේ තිබෙන තෙල් වල හිමිකම ලැබෙන්නේ ශ්‍රී ලංකාවටයි. අර්බුදකාරී අවස්ථාවක ඉතා සුමටව ඊට මුහුණ දීමට ත්‍රිකුණාමලය තෙල් ටැංකිය යොදා ගැනීමට අවස්ථාව තිබුණා. ඒ මහඟු අවස්ථා තුන ම කඩාකප්පල් කරන ලද ජනතා විමුක්ති පෙරමුණට අද දිට්ට ධම්ම වේදනීය කර්මය පලිසන් දී ඇතැයි  වජිර එහි දී චෝදනා කළේය.

 

හරින්, වැඩ බැරි ටාසන්ලා ගැන කියයි

හරීන් ඉකුත්දා  කළ මාධ්‍ය හමුවේදී ද ආණ්ඩුවට ලුණු ඇඹුල් ඇතුව කන් ඇඟිලි ගසා ගන්නට දේශනයක් කළේය.

"ගෝඨාභය ඉල්ලා අස්වෙලා ගියා. මෙයාට හොයා ගන්නවත් බැරි විදියට පැනලා යන්න වෙනවා. ඒක අපි කිව්වා කියලා හොඳට මතක තියාගන්න."

හරීන් මාධ්‍ය හමුවේ දී එහෙම කිව්වේ ජනාධිපතිට ය.

එදා තඹුත්තේගම යෝදයන් සිටි බවත් අද තඹුත්තේගමින් නිකම්ම නිකන් හාදයෙක් බිහි වී ඇති බවත් හරීන්  චෝදනා කළේ ය.

අන්තිමට ඉතුරු වුනේ කජු කන සීයා රටට ඉතිරි කර ගිය ඩොලර් බිලියන හය විතරක් බව ද හරීන් එහි දී කීය.

"අද රනිල් හිටියා නම් මොකක්ද වෙන වෙනස කියලා අහන අයට දෙන්නේ එක උත්තරයයි. බ්‍රික්ස් සංවිධානයට සම්බන්ධ වෙන්න රනිල් පිඹුරු පත් හැදුවෙ මේ තත්ත්ව දුටු නිසයි. එවිට යූ.එස් ඩොලර්වලින් ගනුදෙනු කළ යුතු නැහැ. නමුත් අපේ ආණ්ඩුවට ගෙදර යන්න වුණා. දැන් වැඩ බැරි ටාසන්ලා වැඩ්ඩො කරපු මිනිස්සුන්ට ඉල්ලං කන්න වෙලා. පෝලිම්වල ඉද්දි ලෝක  යුද්ධ කතා කියන්නේ නැතුව ඔළුවට හොඳ ටොක්කක් ඇන ගන්න. කරපු වරදට. මෙහෙම පීචං වෙච්ච චාටර් වෙච්ච ආණ්ඩුවක් අපි දැකලා නෑ,'' යනුවෙන්ද හරීන් කීය.

 

newstube.lk 

 

Search