බුද්ධික මල්ලවාරච්චි, රවින්ද්‍රනාත් දාබරේ සහ අචලා සෙනෙවිරත්න: නීතිඥ සංගමයේ ආරක්ෂාව තෝරාගත් නීතිඥයින්ට පමණක්ද? | Saroj Pathirana

බුද්ධික මල්ලවාරච්චි, රවින්ද්‍රනාත් දාබරේ සහ අචලා සෙනෙවිරත්න: නීතිඥ සංගමයේ ආරක්ෂාව තෝරාගත් නීතිඥයින්ට පමණක්ද? | Saroj Pathirana

වෘත්තීය අයිතිවාසිකම් සහ වෘත්තිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සහ හඬ නැගීම ඕනෑම වෘත්තීය සමිතියක වගකීම.

සාමාන්‍යයෙන් එහෙම වෘත්තීය ක්‍රියාකාරකම්වලට එළඹීමේ දී අනුගමනය කරන සම්මත ක්‍රියාදාමයක් තියෙනව.

නමුත් ලංකාවේ සමහර වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වය දිහා බැලුවම ඒ සමිති පෙනී ඉන්නේ සියලුම සාමාජිකයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද, නැත්නම් දේශපාලන හෝ වෙනත් යටි අරමුණු ඇතිවද කියල ලොකු ගැටළුවක් මතුවෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මෙතෙන්දි මට මතකයට එනව.

තමන්ගේම කුලයේ පීඩිත, අව වරප්‍රසාදිත, ජූනියර් සගයින් නැත්නම් එතරම් ධනවත් හෝ තමන්ගේ පන්තියට අයත් නැති වෘත්තීය සගයින්ට සිදුවෙන අසාධාරණ වලදී කුම්භකර්ණ නින්දක ඉන්න මේ වෘත්තීය සමිති, දේශපාලන වාසියක් ගන්න අවස්ථාවක් ආපු ගමන් එකපාරටම නින්දෙන් නැගිටලා වැඩවර්ජන පවා සංවිධානය කරනවා. (මෙතෙන්දි මේ කතාවත් නොකිවුවොත් අසාධාරණයි - බීබීසී එකේ වැඩකරද්දී අවුරුදු 25ක් මම සාමාජිකත්වය දරපු වෘත්තීය සමිතිය ගැනත් මට මේ හා සමාන ප්‍රශ්න මතුවුන බවත් ඇත්ත. වෘත්තීය සමිතිය සමහර අවස්ථාවල පෙනී හිටියේ සාමාජිකතත්වය වෙනුවෙන් ද, management එක වෙනුවෙන් ද කියල හිතුණ අවස්ථා තිබුණ.)

මේකට ආසන්නතම උදාහරණ දෙක තමයි නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ බිරිඳ ඝාතනය කරපු වෙලාවේ BASL කැඳවපු වැඩවර්ජනය සහ අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අපරාධයක් කළා කියපු වෙලාවේ GMOA දියත් කළ වැඩවර්ජනය. වැඩවර්ජනයක් කියන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අවසාන තුරුම්පුව - පළවෙනි ක්‍රියාමාර්ගය නෙවෙයි. ඒ අවසාන ක්‍රියාමාර්ගය ගන්නෙත් සාකච්ඡා මාර්ගයෙන්, පිකට් මාර්ගයෙන් ආණ්ඩුවෙන් හෝ අදාළ ආයතනයෙන් කිසියම් ඉල්ලීමක් කරලා ඒ ඉල්ලීම ඉටු නොවුනම.

නමුත් එදා අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන වහාම වැඩ වර්ජනයක් කැඳවපු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඉතාමත් දුෂ්කර පළාත්වල දවසේ පැය විසි හතරම වගේ සේවය කරන්න සිද්දවෙලා තියන junior doctors ලට, ඉහළ වෛද්‍ය නිලධාරීන්ගෙන් විඳින්න සිද්දවෙන ලිංගික අතවර ඇතුළු අනේකවිධ ගැහැට ගැන නෑසු කන්ව ඉන්න බව ඒ වෛද්‍යවරු මාත් එක්ක කියල තියෙනව. තවත් ඒ වගේ දුක් විඳින්න බැරුව රට අත්හැර ගියපු වෛද්‍යවරු ගැන මම Sandeshaya by Saroj නාලිකාවෙත් වාර්තා කරලා තියෙනව.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හැසිරීමත් ඒකට දෙවෙනි නැහැ.

හොඳම උදාහරණ තමයි, මානව හිමිකම් නීතිඥ අචලා සෙනෙවිරත්න දැන් අවුරුදු ගණනක් තිස්සේ මුහුණ දෙන තර්ජන සහ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ට එල්ලවෙලා තියන මරණ තර්ජන ගැන BASL එකේ අද්භූත නිද්‍රාශීලී ආකල්පය.

ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවුන පුද්ගලයෙක් ගැන ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ කරපු පැමිණිල්ලට අදාළ පොලිස් පරීක්ෂණවල තවමත් කිසිම ප්‍රගතියක් දකින්න නැහැ. CCTV දර්ශන තියෙද්දී පවා තවමත් සැකකරු අත් අඩංගුවට අරගෙනත් නැහැ. තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියල ආචාර්ය දාබරේ කරපු ඉල්ලීමට - අධිකරණය පවා උපදෙස් දීල තියෙද්දී - පොලිසිය මෙතෙක් කිසිම පියවරක් අරගෙනත් නැහැ.

ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ කියන්නේ ලංකාවේ මහජනතාවට සෘජුව බලපාන බරපතල ගැටළු සම්බන්ධයෙන් මූලික හිමිකම් නඩු සිය ගණනක් පවරපු ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙක්, පරිසර ක්‍රියාකාරිකයෙක්. ඒ සමහරු නඩු පවරලා තියෙන්නේ ලංකාවේ හෝ ලෝකයේ දැවැන්ත සමාගම්වලට විරුද්ධව. ඒ නිසා ඔහුගේ ජීවිතයට තර්ජනයක් වීමේ බරපතල අවදානමක් තියෙනව. රනිල් වික්‍රමසිංහ තවත් ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන සිංගප්පූරුවේ නඩු පවරද්දී, නෞකාවෙන් වන්දි ඉල්ලලා පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන්

මුලින්ම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුවෙත් ආචාර්ය දාබරේ.

ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් BASL ගත්ත පියවර මොකක්ද කියල මම දන්නේ නැහැ.

අසාධාරණයට ලක්වෙච්ච ලංකාවේ පුරවැසියෝ වෙනුවෙන් නීතිඥ අචලා සෙනෙවිරත්න දැන් අවුරුදු ගාණක් තිස්සේ රාජපක්ෂ කල්ලියේ අපරාධකාරයෝ එක්ක හැප්පෙමින් ඉන්නවා. සමහරු නාවික හමුදාවේ හිටපු ඉහළ නිලධාරීන්. සමහරු හමුදාවේ අපරාධ කල්ලිවල සාමාජිකයෝ. මේ හැමෝගෙන්ම එදා, මෙදා තුර ඇයට නිරන්තරයෙන් තර්ජන එල්ලවෙනවා. වෙන එකක් තියා එක අවස්ථාවක අධිකරණයේ දීම ඇයට නීතිඥයෙක් පවා තර්ජනය කළා. නමුත් ඒ කිසිවකින් නොසැලෙන අචලා මෑතදී නීතිපතිවරයා ගේ සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරයා ගේ ක්‍රියාකලාපය පවා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරමින් ඉන්නවා.

මේ අතරේ නීතිඥ අචලා සෙනෙවිරත්න ට එල්ලවෙන අලුත්ම තර්ජනය වාර්තා වෙන්නේ ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේදී. අපූරුම දේ තමයි, ඇය කියන විදියට ඒ තර්ජනය එල්ලවෙලා තියෙන්නේ ඇය වෙනුවෙන් පෙනී සිටිය යුතුව තිබුණ පොලිස් නිලධාරියෙකුගෙන්.

සිදුවීම සැකෙවින් මෙහෙමයි. විශ්‍රාමික මේජර් බුහාරිදීන් අර්සාත් ට 2020 මැයි 26 වෙනි දින කින්නියා ප්‍රදේශයේ දී සිදු වූ පහරදීමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තියන නඩුවකට බලපෑම් කිරීම ට අදාලව, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධ නඩු විභාගය පසුගිය ජනවාරි 27 වෙනි දා ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවැත්වුණා. 

නඩුවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ අචලා සෙනෙවිරත්න පෙනී සිටි අතර, අපරාධ වින්දිතයින් ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහයක සහ ආරක්ෂක කොට්ඨාසය නියෝජනය කරමින් පොලිස් පරීක්ෂක දසනායක කොළඹ ඉඳල ඇවිත් හිටිය. පැහැදිලිවම පොලිස් පරීක්ෂකවරයාගේ රාජකාරිය වින්දිතයා වෙනුවෙන් කරුණු දැක්වීම වුවත්, විභාගය අවස්ථාවේ අචලා සෙනෙවිරත්නගේ කරුණු දැක්වීමට බාධා කරමින් සහ ඇයට අපහාස වන ආකාරයෙන් පොලිස් පරීක්ෂක දසනායක හැසිරුණු බවට මේජර් අර්සාත් සහ නීතිඥ අචලා දෙදෙනාම මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ට පැමිණිලි කරලා තියෙනව.

පොලිස් පරීක්ෂක දසනායක ඉන් අනතුරුවත් අධිකරණ භූමියේදී තර්ජනාත්මක ආකාරයෙන් හැසිරුණු අතර, එය, නීතිඥවරියක් ලෙස තමන්ගේ කාර්යභාරයට නීති විරෝධී ලෙස බාධා කිරීමේ අරමුණින් කරන ලද ක්‍රියාදාමයක් බවත් නීතිඥ අචලා ගේ පැමිණිල්ලේ සඳහන් වෙනව. නමුත් මම දන්නා තරමින් ඒ සම්බන්ධයෙන් පොලිසිය මේ වනතුරු කිසිම පියවරක් අරගෙන නැහැ.  

පොලිසියෙන් එල්ලවුණ මේ අලුත්ම තර්ජනය ගැන හෝ කාලාන්තරයක් තිස්සේ ඇයට එල්ලවෙන තර්ජන ගැන නීතිඥ සංගමය ගත්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැන මම දන්නේ නැහැ. ඇත්තටම නීතිඥ අචලා සෙනෙවිරත්න ගේ සහ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ගේ ආරක්ෂාව සහතික කරන්න කියල නීතිඥ සංගමය පොලිසියට සහ ආණ්ඩුවට බල නොකරන්නේ ඇයි? නීතිඥ සංගමයේ මතයට එරෙහිව යමින් අචලා සෙනෙවිරත්න නීතිපති පාරින්ද රණසිංහ ට එරෙහිව හඬ නැගූ නිසා ද?

ඒ වගේම පැහැදිලිවම මේකත් අවධාරණය කරන්න ඕනේ. ඔවුන්ගේ ආරක්ෂාව සැලසීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. තර්ජන ගැන සාක්ෂි එක්ක තමන්ගේ ආරක්ෂාව සලසන්න කියල පුරවැසියන් දෙන්නෙක් කරන ඉල්ලීම (වෘත්තිය අදාලම නැහැ) ආණ්ඩුව නොදැක්ක වගේ අහක බලාගෙන ඉඳීම සම්පූර්ණයෙන්ම වැරදියි. නීතිඥ සංගමය මැදිහත් වුණත්, නැතත් ඒක ආණ්ඩුවේ වගකීමක්.
 
Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 පෙබරවාරි 18
 
[theleader.lk] 

Search