රනිල්ගේ එංගලන්ත ගමන ගැන නඩුව ආණ්ඩුවට කොටි වලිගය අල්ලා ගත්තා වගේ වී තිබෙයි. නඩුව අතාරින්නත් බැරි ය. අල්ලා ගෙන ඉන්නත් බැරි ය.
මේ ගමන ගැන අදාළ තීරණ සියල්ල ගත්තේ කොළඹ සිට ය. ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයෙන් කරන ලද්දේ ඒ තීරණ ක්‍රියාත්මක කිරීම පමණි.
ඒ අනුව නඩුවේ වැදගත් සාක්කි ඇත්තේ කොළඹයි. එසේ තිබිය දී අධික වියදමක් දරමින් එංගලන්තයට පස්දෙනෙක් ගොස් සාක්කි ලබා ගත්තේ කාගෙන් ද? අනෙක මෙවැනි උත්සවවලට ආරාධනා කරන්නේ අදාළ උත්සවය පැවැත්වෙන රට මගින් නොව අදාළ ආයතනය මගිනි. උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමරිකාවේ තිබුණත් ඊට ආරාධනා කරන්නේ ඇමරිකාවෙන් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙනි. 1950 වසරේ සිට ම සිදුව ඇති සම්ප්‍රදාය එය යි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට යනවා නම් රාජ්‍ය නායකයා ඇතුළු පස් දෙනකුට ඊට අවස්ථාව ලැබෙයි. ඊට සමගාමී සැසිවලට යන නිලධාරීන්ට වියදම් කරන්නේ ඔවුන්ගේ රටවල්වලිනි.
රනිල් ගේ ගමන = හරිණි ගේ ගමන
ඩාවෝස් ලෝක ආර්ථික සමුළුවට (Economic Forum) ආරාධනා කරන්නේ ස්විස්ටර්ලන්තය නොව අදාළ සංවිධානය යි. අගමැති හරිනි ඒ සමුළුවට ගියේ ඒ සම්ප්‍රදායට අනුවයි. වියදම් කළේ මේ රටේ සල්ලි ය. රනිල් ගේ එංගලන්ත ගමනත් මේ වගේ ම එකකි. ඔහු ගියේ අදාළ විශ්වවිද්‍යාලයෙන් ලද ආරාධනයකට අනුව යි. වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ අදාළ උත්සවයට සහභාගී වූ ආරාධිත අමුත්තන් අතර වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති ස්වරාජ් පෝල්, ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලංකා ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන, බර්මින්හැම් හි ඉන්දියානු කොන්සල් ජනරාල් ආචාර්ය ෂාන්ක් වික්‍රම්, වුල්වර්හැම්ප්ටන් නගරාධිපති ආචාර්ය මයිකල් හාර්ඩක්‍රේ, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ සභාපතිනි ඇන්ජෙලා ස්පෙන්ස්, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජෝන් රැෆ්ටරි වූහ.

එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක රාජ්‍ය නායකයන් මේ වගේ ගමන් බිමන් කොතෙකුත් ගිහින් ඇත. ඒ උදාහරණ කිහිපයක් රනිල් ගේ නීතිඥ අනුජ ප්‍රේමරත්න නීතිපතිවරයාට දක්වා ඇත.
පෙර උදාහරණ
2001 වර්ෂයේදී ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීම සඳහා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග එක්සත් රාජධානියට කළ සංචාරය (එය ශිෂ්‍ය සංගමයකි, විශ්වවිද්‍යාලයේ ම නොවේ), 2008 වසරේදී ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් රාජධානියට කළ සංචාරය, 2010 වසරේ දී ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වූ අතර, එක්සත් රාජධානියට පැමිණි විට එය අවලංගු කරන ලදී. 2017 වසරේ දී ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ නීති දේශනය, 2018 වසරේ ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ එක්සත් රාජධානියේ සංචාරය, ඔක්ස්ෆර්ඩ් සංගමය සහ කේම්බ්‍රිජ් සංගමය ඇමතීම සඳහා හිටපු විදේශ අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කදිර්ගාමර්, ජී.එල්. පීරිස් සහ අලි සබ්‍රි ගේ එක්සත් රාජධානි සංචාර ලංකාවේ උදාහරණ කිහිපයකි.
තවත් උදාහරණ
මීට අමතරව ලෝක දේශපාලනය විමසා බැලුවහොත් එක්සත් රාජධානියේ වත්මන් අගමැති කියර් ස්ටාර්මර්, පැරිසියේ ප්ලේස් ඩි ලා කොන්කෝඩ් හි පැවති පැරා ඔලිම්පික් සඳහා 2024දී සහභාගී වීමෙන් තවත් පූර්වාදර්ශයක් නිර්මාණය කළේ ය. ජෝ බයිඩන් (ඔබාමා යටතේ උප ජනාධිපති ලෙස) බ්‍රසීලයේ පැවති 2014 FIFA කණ්ඩායම් අදියර තරගයට සහභාගී විය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්කොට්ලන්තයේ ටර්න්බෙරි ගොල්ෆ් පිටිය නැරඹීමට ගිය අතර එහි දී ඔහු යුරෝපීය කොමිසමේ සභාපතිවරයා සමග ද රැස්වීම් පැවැත්වී ය.

ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ බාහිර සංචාර විදේශීය රජයන් විසින් කරනු ලබන ආරාධනාවලට පමණක් සීමා නොවන අතර, ඒ සඳහා වියදම් අදාළ රජයන් විසින් ගෙවනු ලැබේ. රජය විසින් අරමුදල් සපයනු ලබන රාජ්‍ය නොවන ආයතන විසින් සංවිධානය කරන ලද බොහෝ සම්මන්ත්‍රණ තිබේ. රජය විසින් අරමුදල් සපයනු ලබන අනෙකුත් ජාත්‍යන්තර / කලාපීය සංවිධාන විසින් ද කටයුතු කරනු ලැබේ.
තිරුපති, බුද්ධගයා සහ ලුම්බිණි
2021 දී ස්කොට්ලන්තයේ පැවති "COP26 ලෝක නායකයින්ගේ සමුළුව" සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංචාරය, 2021 දී ඩුබායි එක්ස්පෝ සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංචාරය, ඔසාකා එක්ස්පෝ කමිටුවේ ආරාධනයකට අනුව 2025 දී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපාන සංචාරය සහ පෞද්ගලික සංවිධානයක් වන ලෝක ආර්ථික සංසදයේ ආරාධනයකට අනුව අගමැතිනි හරිණි අමරසූරිය ගේ ඩාවෝස් වෙත කළ සංචාරය රනිල් ගේ එංගලන්ත ගමනට සමාන උදාහරණ කිහිපයකි. ඊට අමතරව, තිරුපති, බුද්ධගයා සහ ලුම්බිණි වෙත ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් කරන සංචාර සඳහා ද රජය විසින් මුදල් ගෙවා ඇත.

COP26 ලෝක නායකයින්ගේ සමුළුව" සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංචාරය
විදේශීය නායකයෙකුගේ ගුවන් යානයක් ඉන්ධන පිරවීම සඳහා නතර කිරීම වැනි අවස්ථාවන්හි දී ද්වි-පාර්ශ්වික සංක්‍රමණ සංචාර සංකල්පය ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත, එවැනි සංක්‍රමණයක දී ද්වි-පාර්ශ්වික රැස්වීම් පැවැත්වීමට උදාහරණයක් ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ශ්‍රී ලංකා සංක්‍රමණ සංචාරය (2023) සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසාගේ ශ්‍රී ලංකා සංක්‍රමණ සංචාරය (2022) හඳුන්වා දිය හැකිය.
පවතින ක්‍රමවේදය
ජනාධිපතිවරයකු යම් විදේශ සංචාරයකට හෝ වෙනත් සංචාරයකට සහභාගී වීමට තීරණය කළ පසු, අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණය වන අතර අවසානයේ විගණකාධිපති, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පාර්ලිමේන්තුව විසින් එය විගණනය කරනු ලැබේ. ජනාධිපතිවරයා උත්සවවලට සහභාගී වීමට තීරණය කරන්නේ නම් - ප්‍රොටෝකෝලය, නවාතැන් සහ වියදම් ඇතුළු විධිවිධාන පිරිවැය සහ භාවිතයට අනුකූලව සපුරාලනු ලැබේ. මේවා තීරණය කරනු ලබන්නේ රාජ්‍ය යාන්ත්‍රණය විසිනි. අසාධාරණ ලෙස වියදම් කරන ලද වියදමක් තිබේ නම්, එය හුදෙක් අධිභාරයක් පිළිබඳ කාරණයකි.
ටිල්වින් ගේ ඉන්දිය සංචාරය; වියදම දැරුවේ කවුද?
මේ රටේ ඉන්දීය විරෝධයේ නිර්මාතෘවරයෙක් ලෙස සැලකෙන ටිල්වින් උන්නැහේ කලිසම් ඇඳගෙන තව නඩයකුත් එක්ක ඉන්දියාවේ සංචාරයෙක් නිරත විය.මේක මොන ජාතියේ සංචාරයක්දැයි පැහැදිලි නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුත් නොවන, විපක්ෂ නායක හෝ වෙන තනතුරකුත් නැති මොන තත්ත්වයේ ද කියා නොදන්නා නොදන්නා ටිල්වින්ට ඉන්දීය සංචාරය දුන්නේ මොන පදනමින් ද කියා කසුකුසුවක් පවතී. හිටපු විපක්ෂ නායකයකු වූ අමිත්තලිංගම්ටත්, ප්‍රභාකරන්ටත් ඉන්දියාව එන්නට කිව්වේය. දැන් ටිල්වින්ට අඬ ගසා තිබෙන්නේ ඒ පදනිමින්ම විය හැකි ය.

සර්වඥ ධාතූ සමග සිල්ක්
ඉන්දියාවෙන් වැඩම කරවන ලද දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන්නට රනිල් ගියේ ඉකුත් බදාදා උදේ වරුවේ ය. එහි දී ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන ස්ථානයේ සිටි ඉන්දීය නිලධාරීනිය ගෙන් රනිල් ඉතිහාස කරුණු විමසා සිටි අතර අදාළ පුරාවිද්‍යා භූමියේ ධාතූන් වහන්සේ තිබූ මංජුසාවේ තවත් යම් යම් දෑ හමු වීදැයි විමසී ය. එහිදී ඉන්දීය නිලධාරිනිය පැවසූයේ එහි සිල්ක් තිබූ බවයි.
"ඉතින් ඒ කාලේ ඉඳන් ඔයගොල්ලො චීනය එක්ක ගනුදෙනු කරලා නේ, දැන් අපට කෑ ගහන්නේ," යැයි රනිල් වික්‍රමසිංහ සිනා මුසුව පැවසීය.
රනිල් වික්‍රමසිංහ කියූ කාරණයට ඉන්දීය නිලධාරිනිය සිනහවකින් පිළිතුරු දුන්නා ය.

රනිල්, මහින්ද, විජිත සහ ගම්මන්පිල එක පොකුරට
චීන තානාපති කාර්යාලය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සංවිධානය කර තිබු චීන අලුත් අවුරුදු පිළිගැනීමේ උත්සවය සඳහා සභාපති වජිර ගියේ නායක රනිල් නියෝජනය කරමිනි. ඒ වෙලාවේ රනිල්ට වෙනත් වැඩක් යෙදී තිබූ බැවින් වජිරට එහි යන ලෙස දැනුම් දී තිබිණි. චීන තානාපති ද දේශපාලනඥයෝ ද බොහොමයක් එහි වූහ.
ඇමති විජිත, හිටපු ජනාධිපති මහින්ද, හිටපු කතානායක මහින්ද යාපා, ජී. එල්, ගම්මන්පිල එහි සිටි කිහිපදෙනෙකි.

වජිර මුලින්ම චීන තානාපති මුණ ගැසී තමන්ගේත් නායක රනිල්ගේත් සුභාෂිංසන පිරිනැමීය.
උත්සවය අතරතුරදී වජිර -මහින්ද අසලට ම ගොස් කතා බහ කළ අතර උත්සවයට පැමිණ සිටි පිරිසට මෙම කතාව කුතුහලයට තුඩු දුන්නේ ඒ අසලම ඇමති විජිත ද සිටි නිසා ය. පසුව මෙම කතාවට ජී. එල් සහ ගම්මන්පිලත් හවුල් වූහ. පැයකට වැඩි කාලයක් උත්සව සභාවේ මේ පිරිසත් සමග රැඳී සිටි වජිර එතැනින් නික්මුණේ වෙනත් කටයුත්තක් සඳහා සහභාගී වීමට තිබු නිසාවෙනි.
[theleader]