ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුව: විදේශගත ලිපිකාරියගේ සටහන් සහ සාක්ෂි ආඥාපනතේ අභියෝගය - තීරණාත්මක දිනයක්

ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුව: විදේශගත ලිපිකාරියගේ සටහන් සහ සාක්ෂි ආඥාපනතේ අභියෝගය - තීරණාත්මක දිනයක්

(විශේෂ අධිකරණ වාර්තාකරුවෙකු විසිනි)

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කැලඹූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (Immunoglobulin) ගෙන්වීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවතින නඩුව, ඊයේ (12) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනිණි.


එහිදී 'සාක්ෂි ඉදිරිපත් කිරීමේ කාර්ය පටිපාටිය' සහ 'ලේඛනගත සාක්ෂිවල නීතිමය වලංගුභාවය' සම්බන්ධයෙන් පැමිණිල්ල සහ විත්තිය අතර ඇති වූ තියුණු නීතිමය සංවාදය නඩුවේ ගමන් මගට නව මානයක් එක් කළේය.

 

විදේශගත ලිපිකාරිය සහ සාක්ෂි නීතියේ ගැටුම:

ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය ගත් උත්සාහයක් විත්ති පාර්ශ්වයේ දැඩි විරෝධයට හේතු විය.

ගැටලුව පැන නැගුනේ ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සේවය කළ, මේ වන විට විදේශගතව සිටින 'හිමාලි තනුජා' (ජී 38) නම් ලිපිකාරිනිය විසින් තබන ලද රාජකාරි සටහන්, එම අධිකාරියේම සේවය කරන වෙනත් නිලධාරිනියක් (අටවන සාක්ෂිකාරිය - නිශානි ලංකා කරුණාතිලක) හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට යාමේදීය.

 

Untitled 9

 

මෙහිදී 12 වන විත්තිකරු (NMRA හිටපු සභාපති වෛද්‍ය විජිත් ගුණසේකර) වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා මතු කළ තර්කය නීතිමය වශයෙන් ඉතා වැදගත් වේ. ඔහුගේ තර්කය වූයේ, "යම් ලේඛනයක අන්තර්ගත හරයාත්මක කරුණු තහවුරු කළ යුත්තේ මුල් සටහන තැබූ අය විසින් මිස, වෙනත් පාර්ශ්වයක් හරහා එය සිදු කිරීම 'ප්‍රවර්ධන සාක්ෂියක්' (Hearsay/Derivative Evidence) පමණක් වන බවයි. " මූලික සාක්ෂිකරු නොමැතිව ලේඛනයක් සලකුණු කිරීම මගින් විත්තියට එම සාක්ෂිකරු හරස් ප්‍රශ්න කිරීමට ඇති අයිතිය අහිමි වන බව එම විරෝධතාවයේ හරය විය.

 

පැමිණිල්ලේ ස්ථාවරය සහ අධිකරණ තීන්දුව :

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පෙන්වා දුන්නේ, අදාළ තැනැත්තිය අධිකරණ බලසීමාවෙන් බැහැරව (විදේශගතව) සිටින බැවින් සහ ඇය ගෙන්වා ගත නොහැකි පසුබිමක, යුක්තිය පසිඳලීම උදෙසා පවතින හොඳම සාක්ෂිය (Best Evidence Rule) මත පදනම්ව එම ලේඛන සනාථ කිරීමට නීතිමය බාධාවක් නොමැති බවයි.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, විත්තියේ විරෝධතා ප්‍රතික්ෂේප කරමින් අදාළ ලේඛන සාක්ෂි ලෙස සලකුණු කිරීමටත්, ඒ පිළිබඳව සාක්ෂි මෙහෙයවීමටත් පැමිණිල්ලට අවසර ලබා දීම මෙම නඩුවේ තීරණාත්මක සන්ධිස්ථානයකි.



සීඝ්‍රගාමී ප්‍රසම්පාදනය සහ "නොදන්නා" අමාත්‍යවරයා

cbfggfd

 

සාක්ෂි විභාගයේදී 2022.09.17 දින පැවති "විශේෂ සීඝ්‍රගාමී ඖෂධ සැපයුම් ක්‍රියාවලිය" (Rapid Procurement Process) පිළිබඳ තොරතුරු අනාවරණය විය. සාක්ෂිකාරිය සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණ ගත් බවයි.

එහෙත්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය "2022 සැප්තැම්බර් වන විට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කවුද?" යන්න විමසූ විට සාක්ෂිකාරිය දුන් පිළිතුර අධිකරණය තුළ විමතියට හේතු විය.

"මට ඒ පිළිබඳව දැනුමක් නැහැ. එවකට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේ කවුද කියලා දැනුමක් නෑ," යනුවෙන් ඇය ප්‍රකාශ කළාය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් විෂය භාර අමාත්‍යවරයාගේ අනන්‍යතාවය පිළිබඳව දැනුවත් නොවීම පරිපාලනමය වගවීම සම්බන්ධයෙන් ගැටලු මතු කරන්නකි.



අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සහ වගකීම

පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ 'පැ 95' සහ 'පැ 99' දරන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා (Board Papers) සාක්ෂිකාරිය විසින් හඳුනාගත් අතර, ඒවා ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ 12 වන විත්තිකරු වන වෛද්‍ය විජිත් ගුණසේකර මහතා බව තහවුරු කෙරිණි. මෙයින් ගම්‍ය වන්නේ අදාළ ගනුදෙනුව හුදෙක් පරිපාලනමය ක්‍රියාවලියක් තුළින් නීත්‍යානුකූල මුහුණුවරක් ගනිමින් සිදුකර ඇති බවයි.



මූල්‍ය වංචාවේ පරිමාව

medicine hospital
රුපියල් 144,293,357.32 (රුපියල් කෝටි 14 කට අධික) මුදලක් රජයට අහිමි කරමින්, Rituximab සහ Human Immunoglobulin වෙනුවට වෙනත් ද්‍රාවණ අඩංගු කුප්පි 6195 ක් සැපයීම තුළින් රජයේ මුදල් සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ වංක ලෙස ව්‍යපහරණය කිරීම (Criminal Misappropriation) විත්තිකරුවන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.

 

මෙම නඩුව හුදෙක් පුද්ගලයන්ට එරෙහි නඩුවක් පමණක් නොව, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇති හිඩැස් සහ හදිසි අවස්ථා මිලදී ගැනීම් (Emergency Purchases) තුළ පවතින අවදානම පිළිබඳව ද නීතිමය පාඩම් කියා දෙන්නකි. නඩුව වැඩිදුර විභාගය අද (13) දිනට කල් තැබිණි.

 

නඩු වාර්තාව 12/02/2026

sql injection attacks

 

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඖෂධ නියාමන අධිකාරියේ සේවය කළ මේ වන විට විදේශගතව සිටින ලිපිකාරිනිය විසින් තබන ලද රාජකාරී සටහන් කීපයක් අඩංගු ලේඛන එම අධිකාරියේම සේවය කරන පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය මගින් ලකුණු කොට ඒ පිළිබඳව සාක්ෂි ලබාදීමට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය දැරූ උත්සාහය පිළිබඳව කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විරෝධතාවය දැක්වූහ.

එම නඩුව ඊයේ (12) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේදී විභාගයට ගැනිණි. එහිදී පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරිනි  නිශානි ලංකා කරුණාතිලක මහත්මිය තෙවන දිනටත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන්නාය. එම අවස්ථාවේදී ඖෂධ නියාමන අධිකාරියේ ලිපිකාරිනිය ලෙස රාජකාරී කළ මේ වනවිට විදේශගතව සිටින්නේ යැයි කියන ජී 38 ලෙස හැඳින්වූ හිමාලි තනුජා නමැත්තිය සටහන් කරන ලද සටහන් සාක්ෂි ලබාදෙමින් සිටි සාක්ෂිකාරියට පෙන්වා පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස එකී ලේඛන ලකුණු කොට සාක්ෂි ලබා ගැනීමට නියෝජ්‍ය සොළිසිටර්වරිය උත්සාහ කළේය.

 

courtroom lawyer waiting stockcake

දොලොස්වන විත්තිකාර ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ;

ස්වාමීනි, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මේ වන වනවිට විදේශගතව ඇතැයි කියන එම ලිපිකාරිය තැබූ බව කියන එම කාර්ය සටහන් පැමිණිල්ලේ සාක්ෂි ලෙස ලකුණු කරනවාට මම විරුද්ධ නෑ. නමුත් ඒවා පැමිණිල්ලේ සාක්ෂි ලෙස මෙම සාක්ෂිකාරිය මගින් ලකුණු කරන එම ලේඛනවල අන්තර්ගතය සාක්ෂියක් ලෙස මෙම සාක්ෂිකාරිය මගින් තහවුරු කිරීමට දරන උත්සාහයට මම විරුද්ධයි.  වෙනත් අයකු තැබූ සටහනක් මේ සාක්ෂිකාරිය මගින් තහවුරු කිරීම ප්‍රවර්ධන සාක්ෂියක් බවට පත්වෙනවා. යම් ලේඛණයක අන්තර්ගත හරයාත්මක කරුණු තහවුරු කළ යුත්තේ මුල් සටහන තැබූ අය මඟිනුයි.  වෙනත් අයෙකුගේ සටහන් තවත් අයකුට සලකුණු කොට සාක්ෂි ලබාගන්න බෑ.



නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ;
එම ලිපිකාරිනිය විදේශගතවෙලා සිටින්නේ. යමෙකු විදේශගත වෙලා සිටින්නේ නම් අධිකරණය මගහැර සිටින්නේ නම් හෝ ලංකාවට ගෙන්වා ගත නොහැකි නම් එම සටහන්වල ඇති හරයාත්මක කරුණු සනාථ කරන්න වෙනත් සාක්ෂියක් මගින් පුළුවන්. එම ලිපියට අත්සන් කළ දොළොස්වන විත්තිකරු ඒ බව තහවුරු කරන්නේ නෑ නේ?

 

Probate Court Hearing

 

නීතිඥ චමින්ද අතුකෝරල මහතා ;
පැමිණිල්ලේ සාක්ෂි ඔප්පු කිරීමේ භාරය තිබෙන්නේ පැමිණිල්ලට මිසක් විත්තියට නෙමෙයි.

අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගයන්ත විජේසුන්දර මහතා ; මමත් දොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින උගත් නීතිඥවරයා දක්වන එම විරෝධතාවයට එකඟයි. පැමිණිල්ලට එහෙම කරන්න බැහැ.

නීතිඥ චමින්ද අතු කෝරල මහතා ;
කෙසේ නමුත් මගේ උගත් මිතුරිය දැරූ උත්සාහය ගැන මම සතුටු වෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
මගේ වැඩ ගැන කවුරුවත් සතුටු වෙන්න ඕන නෑ.

එහිදී එය සම්බන්ධයෙන් දීර්ඝ කරුණු පැහැදිලි කළ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා  විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ එම විරෝධතා ප්‍රතික්ෂේප කොට පැමිණිල්ලට සාක්ෂිකාරියගෙන් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි මෙහෙයවීමට අවසර ලබා දුන්නේය.

 

w6uy6

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
පෙර දින සඳහන් කළ පරිදි විශේෂ සීඝ්‍රගාමී ඖෂධ සැපයුම් ක්‍රියාවලිය යටතේ ඖෂධ මිලදී ගැනීමට අදාළ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සටහන් ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද ?

සාක්ෂිකාරිය ;
 නෑ ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
2022.09.17 වැනිදා එකී හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඒ කියන්නේ සීඝ්‍රගාමී ක්‍රමවේදය යටතේ ඖෂධ මිලදී ගැනීමට අදාලව පැවැති සාකච්ඡාවක් ගැන ඔබ සඳහන් කළා ?

සාක්ෂිකාරිය ;
ඔව් ඖෂධ නියාමන අධිකාරියේ ජාතික ඖෂධ තත්ත්ව පරීක්‍ෂණාගාර ශ්‍රවණාගාරයේදී  සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු ප්‍රධානීන් රැසක් එයට සහභාගී වී තිබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
එහිදී ඖෂධ මිලදී ගැනීමට අදාළව ලබා දී තිබූ උපදෙස් මොනවාද ?

සාක්‍ෂිකාරිය එකී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියේ සඳහන් කරුණු ඉංග්‍රීසි භාෂාවෙන් පැවසුවාය.  

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
එලෙස මිලදී ගන්නා ඖෂධ සඳහා නියමිත ගෙවීම් සිදුකිරීමටත්, අනුමැතිය දීලා තිබෙනවා නේද ? 2022 සැප්තැම්බර් වන විට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කවුද ?

සාක්ෂිකාරිය ;
මට ඒ පිළිබඳව දැනුමක් නැහැ. එවකට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේ කවුද කියලා දැනුමක් නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;
ඔබ සඳහන් කළ පැ 95 කියන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව මෙන්ම පැ 99 කියන සංශෝධිත අධ්‍යක්ෂ මණ්ඩල දැනුම් දීමේ පත්‍රිකාව ඔබට හඳුනාගන්න පුළුවන්ද?

සාක්ෂිකාරිය ;
ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;
අධ්‍යක්ෂ මණ්ඩල සටහන් ඉදිරිපත් කිරීමට අනුමැතිය දීලා තියෙන්නේ කවුද ?

සාක්ෂිකාරිය ;
දොලොස්වන චූදිත වන එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර මහත්මයා.

 

xddfdsf

2022.09.02 සහ 2023.09.04 වැනිදා කාලය අතරතුරදී ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයූම් අංශයට සපයා රජයට අයත් රුපියල් 144,293,357.32 ක මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය අද (13) දක්වා කල් තැබිණි.

2022 නොවැම්බර් 30 දිනැති අංක 131632දරන ගැනුම් ඇණවූමෙහි ප්‍රකාරව සැපයිය යුතුව තිබූ Rituximab ing 500 mg in 50 ml vial හා වර්ෂ 2023 ජනවාරි 13 දිනැති අංක 135759 දරන ගැනුම් ඇනවුමෙහි ප්‍රකාරව සැපයිය යුතුව තිබූ Human Immunoglobulim IV 5g - 6g vial නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රාවණ අඩංගු කුප්පි 6195 සැපයීමෙන් එකී වැරදි සිදුකර ඇතැයි ද විත්තිකරුවන්ට චෝදනා නගා තිබිණි.

සබැඳි ලිපි :

ඖෂධ මාෆියාවට පාර කැපූ 'විශේෂ සීඝ්‍රගාමී ක්‍රමවේදය' එළියට ! -  NMRA නිලධාරිනියගෙන් අධිකරණය හමුවේ තීරණාත්මක හෙළිදරව්වක්


ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය: ඉන්දියානු ණය මුදල සහ භාණ්ඩාගාරයේ 'අමතක වීම': ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ හුදකලා චෝදනාව පුපුරා යයි ද?

එන්නත් නඩුවෙන් මතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය ! - රාජ්‍ය මූල්‍ය පාලනය, පරිපාලන වගවීම සහ 'නොකියවූ' ගිවිසුම්...

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය: පරිපාලනමය පහසුව සහ විත්තිකරුවන්ගේ ව්‍යවස්ථාපිත අයිතිය අතර ඝට්ටනයක්?

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය : ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ 'අදෘශ්‍යමාන' ගිවිසුම සහ මුදල් අමාත්‍යාංශයේ 'මාධ්‍ය දැනුම'

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී  පුද්ගල නඩු විභාගය : ඇත්ත එළියට එන විට බොරුව නිරුවත් වෙයි !

විශේෂඥ ලේබලය පිටුපස සැඟවුණු ප්‍රසම්පාදන මාෆියාවේ නිරුවත: ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් 'වෙස් මුහුණු' ගැලවෙයි

 
[theleader.lk]

Search