අලුත් මුදල් නෝට්ටු අච්චු ගැසීම….

අලුත් මුදල් නෝට්ටු අච්චු ගැසීම….

මහ බැංකුවේ ඉතිහාසය කෙටියෙන්


දේශයේ ප්‍රධාන මූල්‍ය අධිකාරිය වන ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවා පසුගිය අගෝස්තු 28 දිනට පුරා වසර 75 ක් සම්පූර්ණ විය. එනම් මහ බැංකුව පිහිටුවා එහි මෙහෙයුම් කටයුතු ආරම්හ කර ඇත්තේ වර්ෂ 1950 අගෝස්තු 28 වැනිදාය. මේ මහ බැංකුවේ 75 වන සැමරුම නිමිත්තෙන් රු.2000 ක නව සංසරණ සමරු නෝට්ටුවක් ද නිකුත් කෙරුණු අතර තවත් වැඩසටහන් ගණනාවක් ද මහ බැංකුව විසින් මේ වෙනුවෙන් සංවිධානය කර තිබිණි. මහ බැංකුවේ ආරම්භය ගැන කෙටියෙන් සඳහන් කරන්නේ නම් වර්ෂ 1948 දී මෙරටට නිදහස ලැබීමෙන් පසුව ලංකා රජය විසින් මහ බැංකුවක් ස්ථාපනය කිරීම පිණිස අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා එක්සත් ජනපද රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ. වර්ෂ 1948 ජූලි මාසයේ දී එම කාර්යය ඉටු කිරීමේ වගකීම ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයකු වන ඇමරිකානු ජාතික ජෝන් එක්ස්ටර් මහතාට පැවරුණු අතර ඒ අනුව සම්පාදිත එක්ස්ටර් වාර්තාව මගින් මහ බැංකුව සඳහා තාර්කික හා නෛතික රාමුව සපයනු ලැබීය.

මෙම එක්ස්ටර් වාර්තාව සමග මෙම වාර්තාවේ දෙවැනි කොටස ලෙස පැහැදිලි කිරීම් ඇතුළත් කෙටුම්පතක් ද ඒ සමග ම ඉදිරිපත් කර තිබිණි. 1949 නොවැම්බර් 25 වැනි දින ලංකාණ්ඩුව විසින් මෙම කෙටුම්පත සම්මත කළේය. එය 1949 අංක 58 දරන මුදල් නීති පනතයි. ඒ සමගම එතෙක් පැවති ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය අහෝසි විය. ඒ සමග ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා පියවර ගත්තේය. මේ අනුව ලංකා මහ බැංකුව ස්ථාපනය කරන ලද්දේ 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේය. මෙසේ ස්ථාපිත කළ ලංකා මහ බැංකුවේ මෙහෙයුම් කටයුතු 1950 අගෝස්තු 28 වැනි දින ආරම්භ කරනු ලැබූ අතර මහ බැංකුවේ පළමු අධිපතිවරයා වූයේ ද ජෝන් එක්ස්ටර් මහතාය. ඉන්පසු 1985 වසරේ දී මෙය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කරනු ලැබිණි.

රු.2000 ක සංසරණ සමරු නෝට්ටුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් පසුගිය අගෝස්තු 29 දින රු.2000 ක සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. ජාතික සංවර්ධනය සඳහා පදනම ලෙස ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මහ බැංකුවේ නොනවතින කැපවීම පිළිබිඹු කරමින්, මෙම මුදල් නෝට්ටුව ‘සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය’ යන සංවත්සර තේමාවට අනුකූලව නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 5 වන සමරු මුදල් නෝට්ටුව මේ රු.2000 නෝට්ටුවයි. මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් පසුගිය අගෝස්තු 29 දින උදෑසන ජනාධිපති කාර්යාලයේ දී මෙම සමරු මුදල් නෝට්ටුව ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය. මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි නෙලුමානි දවුලගල, මහ බැංකුවේ සහකාර අධිපති සිරිකුමාර කුඩාගම සහ ඒ අවස්ථාවේ මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අධිකාරී වූ පී. ඩී. ආර්. දයානන්ද යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.


නෝට්ටු මිලියන 50 ක සීමිත නිකුතුවක්

මෙම රු.2000 නෝට්ටුව නිකුත් කිරීම වෙනුවෙන් මහ බැංකුව විසින් පසුගිය අගෝස්තු 29 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි මේ අලුත් නෝට්ටුව ගැන මෙසේ සඳහන් කර ඇත.

“නෝට්ටුවේ ඉදිරිපස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ල සහ කොළඹ ප්‍රදීපාගාර ඔරලෝසු කණුව මෙන්ම මෑත කාලීන නාගරික සංවර්ධනයන් පෙන්නුම් කරන කොළඹ නගරයට අලුතින් එක් වූ ගොඩනැගිලි ඈතින් දිස්වෙන ආකාරය දැක්වෙන පිළිබිඹුවක් සහ 75 වැනි සංවත්සර ලාංඡනය දක්වා ඇත. ආරක්ෂාව ඉහළ නැංවීම සහ වලංගු මුදල් නෝට්ටු හඳුනාගැනීම මහජනතාවට පහසු කිරීම සඳහා වර්ණය වෙනස්වන්නා වූ ආරක්ෂණ නූලක් ඇතුළත් කර ඇත. දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට ස්පර්ශයෙන් නෝට්ටුව හඳුනා ගැනීමට සහාය වීම සඳහා, එක් එක් තීරුව අවසානයේ දියමන්තියක හැඩයක් සමග උස්ව මුද්‍රිත තීරු හයක් නෝට්ටුවේ වම්පස සහ දකුණුපස දාර දෙකෙ හිම මුද්‍රණය කර ඇත. නෝට්ටුවේ පිටුපස, ශ්‍රී ලංකා සිතියමෙහි නිර්මාණාත්මක පිළිබිඹුවක්, මානෙල් මලක් සහ මහ බැංකුවේ දැක්ම ප්‍රකාශය ඉදිරිපත් කර ඇති අතර, එය ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රගතිය සඳහා මහ බැංකුවේ කැපවීම සංකේතවත් කර ඇත. මෙය නෝට්ටු මිලියන 50 ක සීමිත නිකුතුවක් වන අතර, අද (29) සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලැබේ. මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා වලංගු වන අතර මුදල් සංසරණයේ පවතින තාක් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වේ.”

මේ නිසා මෙය සමරු නෝට්ටුවක් මෙන්ම මහජන සංසරණය සඳහා ද නිකුත් කළ මුදල් නෝට්ටුවකි. මෙය පසුගිය 29 දින සිටම බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරන බව කීවත් අප දන්නා පරිදි නම් තවමත් මේ රු. 2000 නෝට්ටුව මහජනයා අතරට පැමිණ නැත. ඉස්සර නම් මුදල් නෝට්ටුවක් අලුතින් නිකුත් කළ විට එය මුදල් ඇමැතිට පිළිගැන්වීමෙන් පසුව ඒ ගැන මාධ්‍ය හමුවක් ද පැවැත්වෙන බව අපට මතකය. එසේම වෙනදා අලුතින් මුදල් නෝට්ටුවක් නිකුත් වීමෙන් පසුව එය මහ බැංකුවේ ඇති කවුන්ටරයකින් ලබා ගැනීමට ද අවස්ථාව තිබුණි. එහෙත් මේ ලිපිය ලියමින් සිටින මොහොත වන විටත් තවමත් එවැනි අවස්ථාවක් ද උදා වී නොමැත. ඒ නිසා මහ බැංකුව එවූ මාධ්‍ය නිවේදනයේ ඇතුළත්ව තිබූ ඡායාරූපයකින් හැරෙන්නට, මේ අලුත් රු.2000 නෝට්ටුව තවමත් අප ද දැක නැත.

රු.2000 නෝට්ටුවේ ප්‍රධාන ලක්ෂණ

රුපියල් 2000 සමරු නෝට්ටුවේ නිර්මාණය සහ ප්‍රධාන ලක්ෂණ සාරාංශගතව අපට මෙසේ සඳහන් කළ හැකිය. මේ සමරු නෝට්ටුව නිකුත් කර ඇති ආකාරය වන්නේ සංසරණය සඳහා යොදන සමරු නෝට්ටුවක් (සංසරණ සමරු නෝට්ටුවක්) ලෙසය. මේ නෝට්ටුවේ ප්‍රමුඛ වර්ණය නිල්ය. එහි ප්‍රමාණය මි.මී. 151 × මි.මී. 67 ක් වේ. මෙහි කඩුවක් රැගත් සිංහයකුගේ රූපය ඇති දිය සලකුණක් සහිත සියයට 100 ක කපු උපස්ථරයක් ඇති අතර 2025.08.28 දිනය මේ නෝට්ටුවේ දිනය ලෙස සඳහන් වේ. අනුක්‍රමික අංක උපසර්ගය CB වන අතර වලංගු මුදලේ සඳහන් පාඨය ලෙස “මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලදී” යන පාඨය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් දැක්වේ. මෙතෙක් කල් අප දුටු වෙනත් මුදල් නෝට්ටුවල සඳහන් වූයේ ‘ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලදී. මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය’ යන පාඨයයි. එහෙත් එම පාඨය මේ නෝට්ටුවේ ඉහත සඳහන් කළ පරිදි බොහෝ කෙටිකර ඇත. මේ නෝට්ටුවේ ආරක්ෂණ නූල කවුළු තුනක් සහිත මි.මී. 5 ක පළලකින් යුක්තය. නෝට්ටුව ඇල කරන විට ආරක්ෂණ නූලේ වර්ණය, නිල් වර්ණයේ සිට කොළ වර්ණය දක්වා වෙනස් වේ. එහි කොළඹ ප්‍රදීපාගාර ඔරලෝසු කණුවේ රූපය සහ “2000” ඇතුළත් වේ. මුදල් සංසරණයේ දී නෝට්ටුවේ කල්පැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා මුද්‍රණයෙන් පසු වාර්නිෂ් භාවිතා කර ඇති බව ද මහ බැංකුව කියයි.

මුදල් අච්චු ගැසීම

මුදල් අච්චු ගැසීම ගැන වරින්වර නොයෙකුත් සංවාදයන් ඇති වේ. ඇතැම් අය දේශපාලන අරමුණින් යුතුව ද මේ ප්‍රචාර සිදුකරති. මීට ටික කලෙකට පෙර ආණ්ඩුව විසින් රුපියල් ට්‍රිලියන 1.22 ක ( රු.බිලියන 1225.9 ක) පමණ මුදල් අච්චු ගැසූ බවට ද ඇතැමුන් ප්‍රචාරයක් යැව්වේය. මූලික වශයෙන්ම කිව යුත්තේ මුදල් අච්චු ගසන්නේ ආණ්ඩුව විසින් නොව මහ බැංකුව විසින් බවයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු රුපියල් ට්‍රිලියන 1.22ක් අච්චු ගසා ඇති බවත්, මෙලෙස මුදල් අච්චු ගැසීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම කඩ කර ඇති බවටත් ඇතැමුන් චෝදනා කර තිබිණි. මේ කියන දේ ඇත්ත නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපගේ ණය වැඩසටහනේ ඉදිරි ණය වාරික පවා අපට නොලැබෙයි. එසේ නම් සිදුවනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැනට ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අකර්මණ්‍ය තත්ත්වයට පත් වීමයි. එහෙත් අයිඑම්එෆ් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අකර්මණ්‍ය තත්ත්වයට පත් වීමට වත්මන් රජය ඉඩ දෙනු ඇති ද? අපට කිසිසේත්ම එසේ සිතිය නොහැකිය. මේ අය පුළුල් මුදල් සැපයුම (M2b) වෙනස් වීම මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වා තිබිණි. මෙයට ප්‍රතිචාර ලෙස මහ බැංකුව පවසා තිබුණේ පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත් නොමැති බැවින් හෝ දැනදැනම මහජනතාව නොමග යැවීමේ අරමුණින් බවයි. පුළුල් මුදල් සැපයුම යනු ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම නිර්වචනය කළ හැකි ආකාරයක් පමණක් වන අතර පුළුල් මුදල් සැපයුම තුළ මහජනතාව සතු ව්‍යවහාර මුදල්වලට අමතරව තවත් සංරචක කීපයක් ඇතුළත් වේ. එනම් බැංකු පද්ධතිය මගින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජය සතු වාණිජ ව්‍යාපාර වෙත ලබා දුන් ණය සහ බැංකු පද්ධතිය සතු විදේශීය වත්කම් යනාදිය පුළුල් මුදල් සැපයුම තුළ අන්තර්ගත වේ. මේ කියන කාලයේ මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ද වැඩි දියුණු වී ඇත. ඒ නිසා එම විවේචන ඉදිරිපත් කළ අය කියූ දේවල් එසේම සිදුවේ ද යන්න ඉදිරි කාලය තුළ ඔබටම දැක බලාගත හැකිය.

මුදල් අච්චු ගසා රජයට ණයට දිය හැකි ද?

ඉතාම සරලව මුදල් අච්චු ගැසීම යනු මහ බැංකුව විසින් ආර්ථිකයට අලුත් මුදල් නිකුත් කිරීමයි. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් බවත් ‘මුදල් අච්චු ගැසීම’ යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන්නේ මහ බැංකුව විසින් ම ආර්ථිකය වෙත අලුත් මුදල් නිකුත් කිරීම බවත් මහ බැංකුව පවසයි. මෙලෙස ආර්ථිකය වෙත නව මුදල් නිකුත් කිරීමේ ප්‍රධාන ආකාරයක් වන්නේ මහ බැංකුව විසින් ම රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමයි. මෙමගින් මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් තොගය ඉහළ යන අතර, ආර්ථිකයට අලුතින් මුදල් එකතු වේ. මේ නිසා ආර්ථිකමය වශයෙන් මුදල් අච්චු ගැසීම යනු මුද්‍රණ යන්ත්‍රයකට තීන්ත සහ කඩදාසි යොදා අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය නොවේ. ආර්ථිකමය වශයෙන් එය එතරම් සරල දෙයක් නොවේ. මුදල් අච්චු ගැසීම යනු කිසියම් ආර්ථික ක්‍රියාවලියකි. මේ නිසා මහ බැංකුව කෙතරම් මුදල් (ව්‍යවහාර මුදල් එනම් කාසි හා නෝට්ටු) අච්චු ගැසුවත් ඒවා මහ බැංකුව විසින් මහජන සංසරණයට නිකුත් කරන තෙක් ඒවා රටේ ව්‍යවහාර මුදල් තොගයට එකතු නොවේ. ඇත්ත වශයෙන්ම මහජනතාව බියවිය යුත්තේ මහ බැංකුව විසින් රජයට ණය දෙන උද්ධමනකාරී ප්‍රතිඵල ඇතිකරන අහිතකර ක්‍රියාවලියටය. එහෙත් නව මහ බැංකු පනත අනුව මහ බැංකුවට මුදල් අච්චු ගසා රජයට ණය දිය නොහැකිය. නව මහ බැංකු පනත අනුව එසේ කිරීමට දැන් නීතිමය ඉඩක් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව ද එය කළ නොහැකිය.

මහ බැංකුව සතුව පවතින පැරණි භාණ්ඩාගාර බැඳුම්කර තොගයේ ද යම් අඩු වීමක් මේ වන විට දක්නට ලැබේ. එය නව මහ බැංකු පනතින් පසු කාලය පුරාවට වැඩි වී නැති නිසා මහ බැංකුව විසින් මුදල් අච්චු ගසා රජයට ණයට දීමක් සිදුව නැත. මේ ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බව කියන අය ඉදිරිපත් කරන්නේ මේ රටේ පුළුල් මුදල් සැපයුම පිළිබඳ දත්ත වේ. රටක ආර්ථික කටයුතු ප්‍රසාරණයත් සමග රටක ආර්ථික වර්ධනයක් සිදුවේ. මෙසේ රටක ආර්ථික වර්ධනයත් සමග මුදල් සැපයුම වර්ධනය වීම ද ස්වභාවික සංසිද්ධියකි. මේ පිළිබඳව රජයට හෝ මහ බැංකුවට චෝදනා කර ඵලක් නැත. ආර්ථික කටයුතු ප්‍රසාරණය වීමේ දී එම භාණ්ඩ හා සේවා තොගය ගනුදෙනු වීමට ප්‍රමාණවත් ලෙස මුදල් සැපයුම වැඩි කළ යුතු වේ. මේ නිසා ආණ්ඩුවට ණයට දීමට නොව, ආර්ථිකයේ අවශ්‍යතා වෙනුවෙන් මහ බැංකුව විසින් කොහොමත් මුදල් අච්චු ගසනු ලබයි

Search