ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ හයගිරි වෙහෙරෙහි යති ලකුණ

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ හයගිරි වෙහෙරෙහි යති ලකුණ

උන්වහන්සේ උප්පත්තිය ලැබුවේ මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලය මැතිවරණ කොට්ඨාසයට අයත් දුම්බර මිටියාවතේ පාතදුම්බර නාරම්පනාව නම් ග්‍රාමයේ දී වර්ෂ 1965 පෙබරවාරි මස 10 වැනි දින, ඩබ්ලිව්.එම්. විජේරත්න බණ්ඩා පියාණන් හා ඩබ්ලිව්.එම්. ලොකුමැණිකේ මව්තුමිය යන දම්පතීන්ට දාව සහෝදර සහෝදරියන් දසදෙනකුගෙන් යුත් පවුලේ නව වැන්නා ලෙසය. ඩබ්.එම්. බිසෝමැණිකේ සහෝදරිය මේ වන විට අභාවයට පත්ව ඇති අතර වැඩිමහලු සොහොයුරිය වූ ඇය අප කතානායකයාණන් වහන්සේගේ දෙවැනි මව වූවාය.

එවකට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවිය හෙබ වූ බදුලු මුතියංගණ රාජමහා විහාරාධිපතිත්වය දැරූ අස්ගිරි මහා විහාර පිරිවෙන් ආදී කර්තෘන් වහන්සේ වූ අතිගෞරවාර්හ විද්‍යා විශාරද පණ්ඩිත හාල්යාලේ ශ්‍රී සුමනතිස්සාභිධාන අනුනායක හිමිපාණන් වහන්සේ කෙරෙහි අප කතානායකයන් වහන්සේගේ සිත කුඩා අවධිය තුළ නිරායාසයෙන් ම ඇදී යෑමෙන් පැවිදීවීම කෙරෙහි මහත් ආසාවක්, උනන්දුවක් ඇති ව එවකට නාරම්පනාව ගංගාතිලක රජමහා විහාරස්ථානයෙහි අධිපතිත්වය දැරූ උන්වහන්සේගේ ආචාර්යත්වයෙන් 1981 ජනවාරි 25 වැනි දින නාරම්පනාවේ ආනන්ද යන උතුම් වූ ශාසනික නාමයෙන් උත්තරීතර පැවිදි ජීවිතයට එළඹිණ.

මූලික පැවිදි අධ්‍යාපනය අස්ගිරි මහා විහාර පිරිවෙන තුළින් හා උසස් අධ්‍යාපනය පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන තුළින් ලබා වයස අවුරුදු 19 වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සුහද මාරුවකට අනුව කැලණිය විශ්වවිද්‍යාලයට වැඩම කළහ. 1986 ජූලි 06 වැනි දින පැවිදි ආචාර්යන් වහන්සේ වූ විද්‍යා විශාරද පණ්ඩිත හැලිඇල්ලේ ශ්‍රී සුමනතිස්ස අනුනාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් අස්ගිරි මහා විහාර මංගල උපෝෂථාගාරයේ දී උතුම් වූ අධිශිල සංඛ්‍යාත උපසම්පදාව පත්වූහ.

ආචාර්ය මැදගොඩ ශ්‍රී සුමනතිස්ස හිමි, කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි, මැදගොඩ චන්දරතන හිමි, තිබ්බටුගොඩ පියනන්ද හිමි ආදී එම යුගයේ සිටි ධර්මධර, විනයධර, සුපේෂල ශික්ෂාකාමි කීර්තිමත් පඬිවරුන් යටතේ අධ්‍යාපනය ලැබීමට තරම් උන්වහන්සේ භාග්‍ය සම්පන්න වූහ.

අති ගෞරවාර්හ විද්‍යා විශාරද පණ්ඩිත හාලිඇල්ලේ ශ්‍රී සුමනතිස්ස අනුනාහිමිපාණන් වහන්සේ වැනි කීර්තිමත් සංඝ පීතෘන් වහන්සේලාගේ ඇසුර ලැබීමේ භාග්‍ය මූලික පැවිදි ජීවිතයේ අඩිතාලම ගොඩනඟා ගැනීමට අතිශයින්ම භාග්‍ය සම්පන්න වූ අප කතානායකයාණන් වහන්සේ, පැපිලියාන සුනේත්‍රාදේවී පරිවේණාධිපති ව වැඩ සිටි ආචාර්ය

මැදගොඩ සුමනතිස්ස නායක හිමිපාණන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයට අයත් පඬිවරුන්ගේ ආභාසයත් පැවිදි ජීවිතයට විශාල ආලෝකයක්, අනුබලයක් එක්කර ගැනීමටත් උන්වහන්සේලා විසින් විෂයය දැනුමට අමතරව පැවිදි ජීවිතය වර්ධනය කරගැනීමට අවශ්‍ය, පෞරුෂවර්ධනයත්, යම් ශාසනික මෙහෙවරක් ඉටුකිරීමට අවශ්‍ය ශක්තිය හා වාතාවරණයත් ශාසනික ජීවිතයට අතිශයින් උපකාරී කර ගැනීමට සමත් වූ යතිවරයන් වහන්සේ නමකි.

ගුරුදේවයන් වහන්සේගේ අපවත් වීමත් සමඟ 1991 වර්ෂයේ දී මහා විහාර මහ පිරිවෙණ නැවත ආරම්භ කළ අප යතිවරයාණන් වහන්සේ, එම පිරිවෙන තුළ පැවැති සාර්ථකත්වය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 1998 වර්ෂයේ දී එය මහ පිරිවෙනක තත්ත්වයට උසස් කිරීමටත් 2008 වර්ෂයේ දී ලංකාවේ පළමුවරට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබාදෙන පිරිවෙනක් බවට පත්කිරීමටත් කටයුතු කරනු ලැබුවේ, භික්ෂූන් වහන්සේලාට විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය භාෂාමය හැකියාව ඔප්නංවා ගැනීමට මඟ හෙළි කරනු පිණිසය. මේ වන විට අස්ගිරි මහ විහාර මහ පිරිවෙන මගින් උන්වහන්සේගේ මඟ පෙන්වීම හා නායකත්වය යටතේ ප්‍රාචීන පණ්ඩිත උපාධිධාරීන් 550කට අධික භික්ෂු පිරිසක් මෙන්ම විශ්වවිද්‍යාල උපාධිධාරී භික්ෂූන් වහන්සේලා 1000කට අධිකව බිහිකිරීමට සමත්ව පැවතීම උන්වහන්සේගේ ජීවිතයේ ලත් සුවිශේෂිතම ජයග්‍රහණයකි.

තවද අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වැඩ සිටි මහානායක අතිපූජ්‍ය පලිපානේ ශ්‍රී චන්ද්‍රානන්දාභිධාන අතිපූජ්‍ය මහානායක මා හිමිපාණන් වහන්සේ විසින් 1998 වර්ෂයේ දී අස්ගිරිය මහා විහාරයේ කාරක සංඝ සභාවට පත් කිරීමත් සමඟ අස්ගිරි මහා විහාර පිරිවෙන මුලික කරගෙන සිදුකළ ධර්ම ශාස්ත්‍රීය සේවයට අමතරව, අස්ගිරි මහා විහාරයේ භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් මහා විහාරයට පැවරෙන ශාසනික වගකීම් සඳහා ඍජුව සම්බන්ධ වෙමින් තමන් වහන්සේගේ සේවාවන් දීප ව්‍යාප්තව සිදු කිරීමට උන්වහන්සේ භාග්‍ය සම්පන්න වූහ.

උන්වහන්සේ තමන් වහන්සේට පැවරුණු කා©යන් මැනවින් ඉටුකරමින් සිටියදී, 2000 වර්ෂයේ දී අස්ගිරි මහා විහාරයේ අභිනවයෙන් මහා නායක ධුරයට පත් වූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අභිධාන මහානායක මා හිමිපාණන් වහන්සේගේ කාලය තුළ අස්ගිරි මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට පත් වූහ. මේ දක්වාම උන්වහන්සේ එම ධුරයෙහි භාර දූර වගකීම දරමින් අස්ගිරි මහ විහාරීය ශාසනික සම්ප්‍රදායන් පවත්වාගෙන යෑමට කරනු ලබන කා© භාරය මෙපමණකැයි කිව නොහැක. ඊට අමතර වශයෙන්, තෙල්/නාලන්දා බෞද්ධ විද්‍යාලය ආරම්භ කිරීම ආදී අධ්‍යාපනික සේවාවන් සේම, පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය, ජනාධිපති උපදේශක සභාව, වැනි නොයෙකුත් භාරදූර තනතුරු හෙබවීම උන්වහන්සේගේ ජීවිතයේ කාරය බහුලත්වය මොනවට පැහැදිලි කරයි.

උතුම් දළදා වහන්සේ වෙනුවෙන් සිදුකෙරෙන තේවා කටයුතු වසර ගණනාවක් මුළුල්ලෙහි ඉටුකිරීමේ භාග්‍ය සම්පන්නතාවය උන්වහන්සේ දරමින් මනා කැපවීමෙන් හා ගිහි පැවිදි සියලු දෙනාගේම ගෞරවාදරයට පත් වූයේ එම අවස්ථාවන්හි උන්වහන්සේ තුළ පවත්නාවූ නිහතමානීත්වය නිසාවෙනි. උන්වහන්සේ තරම් දළදා තේවාවන්, ඇසල මහා පෙර හැර මංගල්‍ය ආශ්‍රිත චාරිත්‍ර විධීන් පිළිබඳව මෙන්ම මහා විහාරීය ශාසනික සම්ප්‍රදායානු ගත පැවිදි උපසම්පදා චාරිත්‍ර ධර්මයන් පිළිබඳ උගත් යතිවරයන් වහන්සේ නමක් නොමැති තරම්ය.

වර්තමානය, ජාතික ආගමික හා ශාසනික වශයෙන් පැන නැඟී ඇති නොයෙකුත් අර්බුධකාරී තත්ත්වයන් හමුවේ ඒ සඳහා මුහුණ දීමට ශක්‍යතාවය ඇති ශාසනභාවධාරී තෙරුන් වහන්සේලා බෙහෙවින් අවශ්‍ය කරන යුගයක් බවට පත්ව ඇත. එබඳු අවස්ථාවක මහාවිහාර ශාසනික මූලස්ථාන වශයෙන් ප්‍රතිබල සම්පන්න නායකත්වයක් අවශ්‍යතාවය හඳුනා ගනිමින්, පුරප්පාඩු ව පැවති අනු නායක ධුරය සඳහා, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද නාරම්පනාවේ ශ්‍රී අනන්දාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වැනි යතිවරයන් වහන්සේ නමක් තෝරාපත්කර ගැනීම ලෝකවාසී පැවිදි ගිහි කාගේත් ප්‍රසංසාවට හේතු වූ අවස්ථාවක් වනවාට සැක නැත. එළඹෙන නොයෙකුත් අර්බුද හමුවේ සමස්තයක් වශයෙන් ශාසනමාමකත්වයෙන් හඬ නැගිය හැකි සංඝ පෞරුෂයකින් හෙබි උන්වහන්සේට නිර්භයව ස්වකීය ධුරයේ කටයුතු මනාව මෙහෙයවීමේ ශක්‍යතාවය පවතින බව නොරහසකි. එබැවින් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පර්ශ්වයේ ශ්‍රීමත් මහානායක, සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝසභාව වෙත උන්වහන්සේව මෙම ධුරයට පත්කර ගැනීම සම්බන්ධව අපගේ කෘතවේදීත්වය පළකරනු කැමැත්තෙමි.

අභිනව අනුනායක ධුරයට පත්, හයගිරි වෙහෙරෙහි යති ලකුණ, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද නාරම්පනාවේ ශ්‍රී අනන්දාභිධාන අභිනව ශ්‍රීමත් අනුනායක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් ආයූ ශ්‍රී සම්පත් ලැබේවායි කන්ද උඩරට විරාජමාන උතුම් දළදා සමිඳු අනුහසින් ප්‍රාර්ථනය කරමි

Search