අනාගතේ... රොබෝ අතේ!

 අනාගතේ... රොබෝ අතේ!

කෘත්‍රිම බුද්ධිය මගින් ලෝකය පාලනය කිරීම වැඩි ඈතක නොවේ. මිනිසුන් සමඟ ආරක්ෂිතව වැඩ කිරීමට හැකියාව ඇති සහයෝගී රොබෝවරු විවිධ නිෂ්පාදන ආයතනවල මිනිසුන් හා සම සමව වැඩ කරමින් සිටිති. කර්මාන්ත අංශයේ වාහන එකලස් කිරීම, පරීක්ෂා කිරීම සහ ද්‍රව්‍ය හැසිරවීම වැනි කාර්යයන්හිද, සේවා අංශයේ, හෝටල්, රෝහල් සහ රාජ්‍ය ආයතනවල ආගන්තුක සේවා, වෛද්‍ය පරීක්ෂණ සහ බහුභාෂා විමසීම් සඳහා ද ඔවුහු සහාය වෙමින් සිටිති. රොබෝවරු තවදුරටත් කාර්මික ශ්‍රමය සඳහා පමණක් වූ මෙවලම් නොවන අතර, ඔවුහු අප වැඩ කටයුතු කරන, ජීවත්වන සහ අන්තර් ක්‍රියා සිදුකරන්නෝ බවට පත්ව සිටිති.


දින පහක් පුරා පැවැත්වුණු 2025 ලෝක රොබෝ සම්මේලනය පසුගිය අගෝස්තු 8 වැනිදා චීනයේ බෙයිජිං හිදී පැවැත්විණි. එම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදන 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරුණු අතර, ඒ අතරින් නව නිෂ්පාදන 100කට අධික සංඛ්‍යාවක් ප්‍රථම වතාවට එළිදක්වා තිබිණි. සම්මේලනයට සම්පූර්ණ මානවරූපී රොබෝ නිෂ්පාදන සමාගම් පනහක් මෙවර එක්ව සිටි අතර, එය වාර්තාගත සංඛ්‍යාවක් ලෙස සැලකේ.

චීනය අඛණ්ඩව වසර 12ක් පුරා ලොව විශාලතම කාර්මික රොබෝ වෙළෙඳපොළ සහ ලොව විශාලතම රොබෝ නිෂ්පාදකයා බවට පත්ව සිටී. වර්තමානයේ චීන රොබෝවරු එරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන අංශ 71කට සහ මධ්‍යම පරිමාණයේ අංශ 236ක් සඳහා තම සේවය සපයමින් සිටී. චීනයේ මානවරූපී රොබෝවරුන් සංචලනය සහ ශක්‍යතාව සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතීන් අත්කරගෙන ඇති අතර, ගෝලීය වශයෙන් ඔවුනට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබේ.

කෘත්‍රිම බුද්ධිය සහ සහ රොබෝ විද්‍යාවේ වේගවත් දියුණුව නිසා රොබෝ වේටර්වරුන්, නර්තන ශිල්පීන්, මැරතන් ධාවකයන් සහ සටන්කරුවන් පවා සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. නමුත් මෙම ආකර්ෂණීය සංදර්ශනවලට අමතරව, අපගේ දෛනික ජීවිතවල සහ සේවා ස්ථානවල රොබෝවරුන්ට සැබවින්ම ඉටුකළ හැකි භූමිකා මොනවාද යන්න සිකුරාදා බීජිං හි ආරම්භ වූ 2025 ලෝක රොබෝ සමුළුවේදී ප්‍රදර්ශනය විය. විවිධ කුසලතා ඇති රොබෝවරුන් මිනිසාගේ දෛනික ජීවිතයට සංක්‍රමණය වන ආකාරය එහිදී දැකිය හැකි විය.

මෙම වසරේ ගෝලීය රොබෝ සමුළුවට මානවරූපී රොබෝ නිෂ්පාදකයන් 50ක් ඔවුන්ගේ නවතම නිෂ්පාදන මගින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටලු‍වලට විසඳුම් ඉදිරිපත් කර තිබිණි. එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිසට දැකගත හැකි වූයේ රොබෝවරුන්ගෙන් පිරුණු අනාගත ලෝකයක ආරම්භයයි. පැමිණි ජනතාව අතර ගමන් කරන රොබෝවරු, උත්සවය ප්‍රවර්ධනය කරන රොබෝවරු මෙන්ම රොබෝ සුනඛයෝද තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් සමුළු භූමියේ සැරිසරමින් සිටියහ.

චීන රොබෝ සමාගමක් වන යුනිට්‍රී ආයතනය එහි G1 රොබෝ සහ R1 නමැති මානවරූපී රොබෝවරුන් ප්‍රදර්ශනය කළේය. G1 රොබෝවරයා සටන්කාමියකු වූ අතර, R1 රොබෝවරයා මළල ක්‍රීඩා සම්බන්ධ තම හැකියාව ප්‍රදර්ශනය කළේය. තවත් රොබෝ නිෂ්පාදන සමාගමක් වන ඇක්සලරේටඩ් එවලූෂන් සමාගම ඔවුන්ගේ T1 සහ K1 රොබෝවරුන් ඉදිරිපත් කළ අතර, එම රොබෝවරුන් බ්‍රසීලයේ 2025 රොබෝ කුසලානය දිනාගෙන තිබිණි.

එම්බෝඩිඩ් AI රොබෝ විද්‍යා නවෝත්පාදන මධ්‍යස්ථානය මගින් ස්වයංක්‍රීය සංචලන පද්ධතිය මත පදනම්ව පූර්ණ ශරීර පාලනය සහ සංකීර්ණ පරිසර තුළ ස්වයංක්‍රීය සහ නිරවද්‍ය ලෙස කාර්යය සැලසුම් කිරීමේ හැකියාව සහිත ටියැන් කුං නමැති රොබෝවා හඳුන්වා දී තිබිණි. අනාගතයේදී, කර්මාන්තශාලා, විශේෂ මෙහෙයුම් සහ ගෘහ සේවය ඇතුළු විවිධ අවශ්‍යතාවලදී එම කාර්යයන් සැලසුම් කිරීමට එම රොබෝවාට හැකි බව එම ආයතනය ප්‍රකාශ කර තිබේ.

සයිබර්ග් රොබෝටික්ස් කුටියේදී, රොබෝ අතක් සතු බර වස්තු ග්‍රහණය කරගැනීමට සහ සංකීර්ණ ඇඟිලි චලන සිදුකිරීමට ඇති හැකියාව ප්‍රදර්ශනය කළේය. සාම්ප්‍රදායික කාර්මික රොබෝවරුන්ට බර වස්තු ග්‍රහණය කරගැනීමේ දක්ෂතාවයක් නොමැති බවත්, මෙම රොබෝ අත මිනිසකුට සමාන බයෝනික් අතක් ලෙස කටයුතු කරන අතර, එමගින් බරැති භාණ්ඩ පෙට්ටි එසවීම හා ඇසුරුම් කිරීම වැනි කාර්යයන් ඉටුකිරීමට හැකි බවත් සයිබර්ග් රොබෝටික්ස් සමාගම සඳහන් කරයි. එබැවින් සාම්ප්‍රදායික රොබෝවරුන්ට ඉටුකළ නොහැකි කාර්යයන් රැසක් එම රොබෝ අතට කළ හැකිය.

හන්වාන්ග් රොබෝ කුටියේ විවිධ රොබෝ පක්ෂීන් ප්‍රදර්ශනය කරන ලද අතර, ඔවුනට අහසේ පියාසර කළ හැකි විය. මෙම රොබෝ පක්ෂීන් මයිනන්, රාජාලීන්, උකුස්සන් වැනි විවිධ රොබෝවන්ය. මෙම පක්ෂීන් විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහා භාවිත කළ හැකි බවත්, වැඩිදියුණු කිරීමෙන් පසු, ත්‍රස්තවාදයට එරෙහිව සහ ආරක්ෂක ඔත්තු සේවා සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ හැකි බවත් එම සමාගම සඳහන් කරයි. මෙම රොබෝ පක්ෂීන්ගේ පෙනුම සහ පියාසැරි රටා සැබෑ පක්ෂීන්ගේ පෙනුමට හා පියාසැරි රටාවට සමාන වන අතර, ගොඩබිමේ සිට ඒවා සැබෑ පක්ෂීන් ද රොබෝවන් ද යන්න වෙන්කර හඳුනාගැනීම දුෂ්කර වන අතර, කිසියම් ඉලක්කයක් රහසිගතව නිරීක්ෂණය කිරීමට හැකිය. මෙම සමුළුවට ඉදිරිපත් කර සිටි රොබෝවන් සැලකිය යුතු දෘශ්‍ය, ස්පර්ශ සහ ශ්‍රවණ හැකියාවක් සහිත වන අතර, තවමත් රසය සහ සුවඳ අවබෝධ කරගැනීමේ හැකියාවක් නොමැත. එබැවින් හන්වාන්ග් සමාගම ගඳ සුවඳ හඳුනාගත හැකි රොබෝවකු නිපදවමින් සිටින බවද අනාවරණ විය. “අනාගතයේදී, අපි රොබෝ සුනඛයන් ආඝ්‍රාණ උපකරණවලින් සන්නද්ධ කරන්නෙමු, එමගින් ඔවුන්ට සැබෑ මත්ද්‍රව්‍ය සුනඛයන් ලෙසම මත්ද්‍රව්‍ය හඳුනාගැනීමට හෝ දඩයම් බල්ලන් ලෙස නීතියෙන් පලා යන අය සොයාගැනීමට හැකියාව සැලසෙනු ඇතැයි,” එම සමාගම සඳහන් කරයි.

2024 “මානවරූපී රොබෝවරුන්ගේ වසර”‍ ලෙස හැඳින්වුවද, එම වසරේ මානවරූපී රොබෝවරුන් බොහෝ දුරට පැවතියේ පර්යේෂණ මට්ටමේය. ඒවා බොහෝ විට හුදෙක් තාක්ෂණික ප්‍රදර්ශන ලෙස සැලකිය හැකි වන අතර, 2025 ලෝක රොබෝ සමුළුවට ඉදිරිපත් කර සිටි රොබෝවන් ප්‍රායෝගිකව වෘත්තීන්හි නිරතවීමට හැකි රොබෝවන්ය. කාර්මික පරීක්ෂණ ක්ෂේත්‍රයේ, විශේෂයෙන් මෝටර් රථ නිෂ්පාදනය, ගුවන්යානා කොටස් මෙහෙයවීම සහ බර යන්ත්‍රෝපකරණ කටයුතු වැනි විශාල හා සංකීර්ණ කටයුතු සඳහා, ඉහළ නිරවද්‍යතාවකින් යුත් මහා පරිමාණ කටයුතු සඳහා දීර්ඝ කාලයක් පුරා දක්ෂ කාර්මිකයන් මත විශ්වාසය තබා සිටි අතර, අනාගතයේ එම කාර්යභාරය රොබෝවරුන් වෙත පැවරෙනු ඇත. ෂැංහයි ෂූලි ඉන්ටලිජන්ට් ටෙක්නොලොජි සමාගම රෝග විනිශ්චය සහ වෛද්‍ය සේවා සඳහා උපකාරී වන බහුමාධ්‍ය රෙබෝ පද්ධති ප්‍රදර්ශනයට එක්කර තිබිණි. මෙම රොබෝ පද්ධතිවලට අතිශය නිරවද්‍ය විද්‍යුත් එන්සෙෆලෝග්‍රැෆික් (EEG) ඇල්ගොරිතම හරහා රෝගීන්ගේ රෝග විනිශ්චය කළ හැකිය.

සමුළුව නියෝජනය කළ හෙක්සගන් සමාගම සිය එහි පළමු මානවරූපී රොබෝව වන AEON රොබෝව ප්‍රදර්ශනය කළේය. ස්වයංක්‍රීය අධිවේගී පරීක්ෂණ සහ ඇතැම් භාණ්ඩ ස්කෑන් පරීක්ෂාවට ලක් කිරීමට එම රොබෝවාට හැකි අතර, බොහෝ දුරට මිනිස් ශ්‍රමය වැය කිරීමකින් තොරව ස්වයංක්‍රීයව සියලු‍ කටයුතු සිදුකළ හැකිය.

රොබෝවරුන් අනාගතයේ සමාජයේ වඩ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇති බව හෙක්සගන් සමාගමේ විධායක සභාපති හාඕ ජියන් පවසයි. නිෂ්පාදන ධාරිතාව සහ තාක්ෂණය යන දෙකෙහිම චීන කාර්මික රොබෝවරුන් ගෝලීය වශයෙන් ප්‍රචලිතව ඇති බවත්, චීනයේ මෙන්ම ලොව බොහෝ රටවල විවිධ සේවා සඳහා ඔවුන් වැඩි වශයෙන් අවශ්‍ය වනු ඇති බවත් ඔහු සඳහන් කරයි. “නුදුරු අනාගතයේ කාර්මික රොබෝවරු රසායනාගාරවලින් බැහැර වී කර්මාන්තශාලා වෙත ගොස් ඵලදායිතාව සඳහා ගාමක බලවේගයක් බවට පත්වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු,” යනුවෙන් ඔහු සඳහන් කරයි.

යූ බී ටෙක් ආයතනය විසින් ස්වයංක්‍රීය බැටරි මාරුකිරීමේ හැකියාව ඇති ලොව පළමු මානවරූපී රොබෝවරයා වන වෝකර් S2 ප්‍රදර්ශනය කළේය. එයට මිනිත්තු තුනකින් බැටරියක් මාරු කළ හැකි අතර, පැය 24 පුරා අඛණ්ඩව වැඩ කළ හැකිය. එය කාර්මික මට්ටමේ අඛණ්ඩ වැඩ කටයුතු සඳහා කදිම විසඳුමක් ලබාදෙන බව සමාගම පවසයි. කාර්මික අංශයේ රොබෝවරුන්ට වැඩි ඉල්ලු‍මක් ඇති බවත්, විශේෂයෙන් මෝටර් රථ නිෂ්පාදනයේදී, මානවරූපී රොබෝවරු වැදගත් සේවාවක් සපයන අතර, ද්‍රව්‍ය හැසිරවීම, නිෂ්පාදන එකලස් කිරීම සහ තත්ත්ව පරීක්ෂාව වැනි කාර්යයන් හැසිරවීමටද සමත්කම් දක්වති. අනාගතයේදී, වාණිජ සැකසුම් සහ අනෙකුත් ක්ෂේත්‍රවල මානවරූපී රොබෝවන් යොදාගැනීමට අපේක්ෂා කරන අතර, පාරිභෝගික අවශ්‍යතා වඩා හොඳින් අවබෝධ කරගැනීමට සහ වඩාත් කාර්යක්ෂම සේවා සැපයීමට ඔවුනට හැකිවනු ඇත.

පසුගිය දා චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සහ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම ඇතුළු අමාත්‍යාංශ හතක්, 2027 වන විට උසස් තාක්ෂණික, කාර්මික සහ සම්මත පද්ධති ස්ථාපිත කිරීම සඳහා brain-machine interface (BMI) නව නිර්මාණ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මාර්ගෝපදේශ නිකුත් කළේය.

කෙසේ නමුදු රොබෝවන්ගේ සේවය වැඩි වශයෙන් භාවිත කිරීමට කර්මාන්තශාලා කටයුතු කරනු ලැබුවහොත් ඉන් පහර වැදෙන්නේ මානව ප්‍රජාවටය. ඔවුන්ගේ රැකියා අවස්ථා සීමාවන අතර, විරැකියාවෙන් පෙළෙන සමාජයක් ඇතිවිය හැකිය. කර්මාන්තශාලා හිමියන් රොබෝවන් ලවා පැය 24ම නොමිලයේ සේවය ලබාගන්නා අතර, ශ්‍රමිකයන්ට කුසගින්නේ සිටින්නට සිදුවිය හැකි බවට අනාවැකි ද පළවෙමින් තිබේ

Search