කාන්තාවන් රවටන බාල රූපලාවණ්‍ය නිෂ්පාදන

කාන්තාවන් රවටන බාල රූපලාවණ්‍ය නිෂ්පාදන

මිනිස් සිරුරට අහිතකර රූපලාවණ්‍ය නිෂ්පාදන බොහොමයක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි වන බවත්, බැර ලෝහ අන්තර්ගතව ඇති මෙම රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීම වැළැක්වීමට ඉතිරි දින කිහිපය තුළදී මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට නියමිත බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

“පාරිභෝගික අධිකාරියේ ගැසට් එකට අනුව තෝරාගත් රූපලාවණ්‍ය ආලේපන අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කිරීමේදී, නිෂ්පාදනයේදී, ආනයනයේදී, එය ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලව විය යුතු වෙනවා. මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති අංක 743 යටතේ පාරිභෝගික අධිකාරිය විසින් වෙළෙඳපොළේ ඇති රූපලාවණ්‍ය නිෂ්පාදන සෝදිසි කිරීමක් කළා. එහිදී ආලේපන නිෂ්පාදන වර්ග හතළිස් නවයක බැර ලෝහ අන්තර්ගතව පවතින බව සොයාගනු ලැබුවා.”‍ යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ (තරගකාරීත්ව ප්‍රවර්ධන) සමන්තා කරුණාරත්න මහත්මිය දේශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.

ඒ අනුව වෙළෙඳපොළේ ඇති නිෂ්පාදන අතරින් නිෂ්පාදන වර්ග හතළිස් නවයක් ජනතාවට නුසුදුසු බව එම අධිකාරිය පවසයි. මෙම නිෂ්පාදනයන්හි රසදිය පරීක්ෂා කර බැලීමේදී ඇතැම් නිෂ්පාදනවල රසදිය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් තිබිය යුතු වුවද ඒවායේ රසදිය ප්‍රමාණය ඉතාමත් ඉහළ අගයක පවතින බව සොයාගෙන ඇත. මෙම ආලේපන ගැල්වීමත් සමඟ දින දෙක තුනක් ඇතුළත සම ඉතා වේගයෙන් සුදුමැලිවීමක් සිදුවේ. සමේ පවතින ස්වභාවික ක්‍රියාකාරීත්වය අඩපණ වී සම සුදුමැලි තත්ත්වයකට පත්වෙයි. මෙවැනි ආලේපන භාවිතයේදී සුදු වෙනවා යැයි පවසන්නේ මේ සුදුමැලි වූ තත්ත්වයටය. බොහෝ කාන්තාවන් රැවටීමට ලක්වන්නේ මෙලෙස සම සුදුමැලි තත්ත්වයට පත් කරන මෙවැනි ආලේපන නිෂ්පාදනවලටය. ඉතා විශාල මුදලක්‌ වැය කර මිලදීගත් මෙවැනි ආලේපන ගල්වා දින දෙක තුනකින්, සති දෙක තුනකින් වැනි ඉතා සුළු කාලයකින් තමන් විනාශ කරගත්තේ තමන්ගේම ස්වාභාවික පැහැපත්, සුන්දර සම බව තේරුම්ගන්නා විට සියල්ල විනාශ වී ගොස් හමාරය.
ඇතැම් කාන්තාවන් තමන් ඉක්මනින් සුදු වූ බව පවසා ඔවුන්ගේ ඡායාරූප මුහුණපොතට එක්කළ ද එහි සැබෑ සුන්දරත්වයක් නැත. එහි ඇත්තේ විනාශ වී යන්නා වූ මුහුණේ ඇති සුදුමැලි බවයි.

“වෙළෙඳපොළේ ඇති නිෂ්පාදන වරින් වර පරීක්ෂාවට ලක්කිරීම අපි සිදු කරනවා. එහිදී ඒවා ප්‍රමිතියට අනුකූලව නොවන්නේ නම් ඒවාට එරෙහිව නිත්‍යනුකූලව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම මේ වන විට ප්‍රමිතියට අනුකූල නොවන නිෂ්පාදනවල නාමයන් අපගේ වෙබ් අඩවියේ සඳහන් කිරීමක්ද සිදු කරනවා. එමගින්ද පාරිභෝගිකයන්ට තමන් භාවිත කරන නිෂ්පාදන සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ මෙම නිෂ්පාදන විකුණනු ලබන වෙළෙඳුන්ට මෙම ප්‍රමිතියට අනුකූල නොවන ආලේපන විකිණීමට උත්සාහ නොගන්නැයි අපි දැනුම් දෙනවා.”‍ යැයි සමන්තා කරුණාරත්න මහත්මිය පැවසීය.

වර්තමානය වන විට බොහෝ කාන්තාවෝ මෙවැනි නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට කටයුතු කරති. අද වනවිට අන්තර්ජාලය ඔස්සේ මෙවැනි ව්‍යාපාරවල යෙදෙන පිරිස් බොහෝ වෙති. තම අතේ ඇති කුඩා ජංගම දුරකතන තිරයේ සටහන් වන ජනප්‍රිය කාන්තාවකගේ හෝ සුන්දර තරුණියකගේ රුව දැකීමෙන් එවැනි රුවක් ලබාගැනීමේ අරමුණින් අන්තර්ජාලය ඔස්සේ එම නිෂ්පාදන ඇණවුම් කරන කාන්තාවෝ අප සමාජයේ බොහෝ වෙති. වර්තමානයේ අන්තර්ජාලයේ මෙවැනි ව්‍යාපාරවල යෙදෙන පිරිස්වල වැඩිවීමක්ද දක්නට ලැබේ. එවැනි අය මෙවැනි දෑ අලෙවි කිරීමට පෙර ඒවා ප්‍රමිතියට අනුකූල නිෂ්පාදනදැයි හොඳින් සොයා බැලීමට වග බලාගත යුතුය. එමෙන්ම එම ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන අලෙවි කිරීමට උත්සාහ නොකළ යුතුය.
ඇතැමුන් මිලදී ගන්නා ඇතැම් නිෂ්පාදන විදෙස් රටවල්වලින් ඉවත් කරන ලද ඒවාය. විදේශ රටවලට යන ඔවුන් එම නිෂ්පාදන රැගෙන එන්නේ තම පාරිභෝජනයට නොවේ. මේ අතර ඇතැම්හු කිසිදු ප්‍රමිතියකින් තොරව නිවෙස්වල, කුඩා කඩ කාමරවල, මෙම ආලේපන වර්ග නිෂ්පාදනය කරති. ඇතැමෙක් රසදිය එක්කර බාල ක්‍රීම් වර්ග නිෂ්පාදනය කරති.

සමෙහි ආලේප කරන ක්‍රීම් වර්ග හා දියර වර්ග බොහොමයකි. ඒ අතර මේකප් කිරීමට අවශ්‍ය ක්‍රීම් හා දියර වර්ග, සම පිරිසුදු කිරීමට ඇති දියර හා ක්‍රීම් වර්ග, සමෙහි තෙතමනය රඳා පවතින ක්‍රීම් වර්ග, සමෙහි ඇති රෝම කූප ඉවත් කරන ක්‍රීම් වර්ග, සම පිළිස්සීම වැළැක්වීමට ඇති දියර හා ක්‍රීම් වර්ග, සමයේ අඳුරු පැහැය නැතිකර සම සුදු කරන ක්‍රීම් වර්ග, ආදී විවිධ වෙළෙඳ නාම යටතේ නිෂ්පාදිත ආලේපන වර්ග වෙළෙඳපොළෙහි අලෙවි වේ. මේ සියලු‍  ආලේපන වර්ග ප්‍රමිතියට අනුකූලව විය යුතුය.
ඔබ යම් රූපලාවණ්‍ය ආලේපනයක් මිලදී ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතුය. එහි නිෂ්පාදකයාගේ නම ලිපිනය, බෙදාහරින්නාගෙන් නම ලිපිනය, නිෂ්පාදනය කළ රට, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය, කාණ්ඩය, උපරිම සිල්ලර මිල, අඩංගු දෑ, භාවිත කිරීමේදී දී ඇති උපදෙස් ඇතුළු සියලු දෑ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වී ඇතිදැයි පරීක්ෂා කළ යුතුය.

සම පැහැපත් කරන ආලේපන භාවිත කිරීමේ වරදක් නැත. ඕනෑම අයෙක් සුන්දර රුවකට ප්‍රිය කරති. නමුත් තමන් ආලේප කර නිෂ්පාදනය ප්‍රමිතියට අනුකූල වූ භාවිතයට සුදුසු, අපගේ දේශගුණයට ඔරොත්තු දෙන ආලේපනයක්දැයි පරීක්ෂා කර බැලීම ඉතා වැදගත්ය.

“27 වැනිදා අපි ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව අන්තර්ජාලය ඔස්සේ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීමේදී ඒ සඳහා අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු මාර්ගෝපදේශයක් සැකසීමට බලාපොරොත්තු වෙනවා.”‍ යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ (තරගකාරීත්ව ප්‍රවර්ධන) සමන්තා කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් පැවසීය

Search