"මේක පුදුම ආණ්ඩුවක්’’- ලාල් කුලරත්න

"මේක පුදුම ආණ්ඩුවක්’’- ලාල් කුලරත්න

;වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය සහ සිනමාවේ සිටින නිර්මාණකරුවෙක් ලෙස ලාල් කුලරත්නව හඳුන්වන්න පුළුවන්. නමුත් ලාල් එකවරම වේදිකා නාට්‍ය රංගනයෙන් ඉවත්වෙලා පිටපත් රචකයෙක් විදිහ⁣ට කටයුතු කරන්න පටන් අරගෙන තියනවා. ඉතින් ඒ ගැන ලාල් කුලරත්න එක්ක කතා කරන්න අපි හිතුවා.

 

 මේ දවස්වල මම වේදිකාවට සම්බන්ධවෙලා ඉන්නවා. හැබැයි ඒ නළුවෙක් විදිහට නම් නෙමෙයි. ජනක් ප්‍රේමලාල් අධ්‍යක්ෂණය කරන මේක පුදුම ආණ්ඩුවක් වේදිකා නාට්‍යයේ පිටපත් රචකයා විදිහට දේශපාලනඥයන්ට කඩේ ගිහින් පත්වීම් අරගෙන ආණ්ඩුවෙ ආයතනවල සේවය කරන කාන්තාවෝ ඉන්නවා. දේශපාලන හයිය මත ආයතනයේ සභාපතිටත් වඩා ඉහළින් ඒ කාන්තාවන්ගේ නියෝග තමයි ක්‍රියාත්මක වෙන්නෙ. අවුරුදු විසිපහකට කලින් ආණ්ඩුවෙ ආයතනයකට වැඩක් කරගන්න ගියහම මම ලබපු පුද්ගලික අත්දැකීමක් ඒක. ඉතින් ඒ සිද්ධිය ඇසුරෙන් නිර්මාණය කරපු වේදිකා නාට්‍යයක් තමයි ‘‘මේක පුදුම අණ්ඩුවක්’’. මේ නාට්‍ය තුළින් නියම ප්‍රසහනය වේදිකාවට ගේන්න මම උත්සාහ කරනවා.

 

 දේශපාලන ප්‍රහසන වේදිකා නාට්‍ය කියලා වර්තමානයේ වේදිකා නාට්‍ය රංග ගතකරනවා මම දැකලා තියනවා. නමුත් ඒ බොහොමයක් නාට්‍ය තුළින් සිද්ධවන්නෙ හරවත් දෙයකින් ප්‍රේක්ෂකයන්ව හිනස්සනවා වෙනුවට පුද්ගල අපහාසය මතුකරලා ප්‍රේක්ෂකයන්ව හිනැස්සවීම. මම රචනය කරලා තියන ‘‘මේක පුදුම ආණ්ඩුවක්’’ කිසිවකුටත් අපහාස කරන්නෙ නැතුව රාජ්‍යයේ පුරවැසියා අත්දකින දේවල් ඇති සැටියෙන් ඉදිරිපත් කරලා ප්‍රේක්ෂකයාව තෘප්තිමත් කිරීමයි සිදු කරන්නෙ. ජනක් ප්‍රේමලාල්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන ‘‘මේක පුදුම ආණ්ඩුවක්’’ වේදිකා නා⁣ට්‍යය සඳහා මාදනී මල්වත්ත, රවින්ද්‍ර කෝදාගොඩ ඇතුළු ප්‍රසිද්ධ නළු නිළියො රැසක් රංගනයෙන් දායක වෙනවා. ඉතින් අපි සියලුදෙනාගේම එකතුවෙන් නිර්මාණය කරන ‘‘මේක පුදුම ආණ්ඩුවක්’’ වේදිකා නාට්‍යයේ පළමුවෙනි දර්ශන වාරය එලඹෙන මැයි 31 වනදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හි වේදිකා ගතකිරීමට සියල්ල සූදානම් කරලා තිබෙනවා. වේදිකාව කියන්නෙ ලාල්ට නුහුරු තැනක් නෙවේ. ඒ ලබා ගත්තු අත්දැකීම් නිසා වඩාත් රංගනයට යොමුවෙන්න තමා උත්සාහ කළ බව ඔහු කියනවා.

 

වේදිකාව කියන්නෙ මට අලුත් දෙයක් නෙමෙයි. මුලින්ම මම රංගන ක්ෂේත්‍රයට ආවෙ පාසල් වේදිකාවෙන්. පාසල් අධ්‍යාපනය හදාරලා අවසාන කළාට පස්සෙ මම ජයලත් මනෝරත්නයන්ගේ වේදිකා නාට්‍යය කණ්ඩායමට සම්බන්ධවෙලා වේදිකා නාට්‍යවල රඟපෑවා. ජයලත් මනෝරත්නයන් ඇතුළු එවකට ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යයක්ෂකවරු නිර්මාණය කරපු වේදිකා නාට්‍යයවල ඉහළ ප්‍රමිතියක් තිබුණා. ප්‍රේක්ෂකයන්ට හොඳ තෘප්තියක් වගේම රඟපාපු අපිටත් සෑහීමකට පත්වෙන්න පුළුවන් අත්දැකීම් ලැබුණා. ජයලත් මනෝරත්නයන්ගේ අභාවයෙන් පස්සෙ ඔවුන්ගේ වේදිකා නාට්‍ය කණ්ඩායමෙන් මම ඉවත් වුණා. පිටපත් රචකයෙක් විදිහ⁣ට කටයුතු කරනවා ඇරෙන්න මේ වෙද්දි නම් මම වේදිකාවෙ රඟපාන්නෙ නැහැ⁣. ටෙලිනාට්‍ය චිත්‍රපට සහ නව මාධ්‍ය නිර්මාණ කොතරම් බිහිවුණත් වේදිකා නාට්‍ය නරඹන විශාල ප්‍රේක්ෂකාගාරයක් තවමත් සුරැකිව තිබෙනවා. අධ්‍යයක්ෂකවරු පිටපත් රචකයො නළු නිළියො සංවිධායකවරු ඇතුළු සියලුදෙනාම කැපවෙලා ක⁣ටයුතු කරනවා නම් ඉස්සර තිබුණා වගේම වේදිකා නාට්‍යය ක්ෂේත්‍රය ප්‍රමුඛපෙළේ කලා මාධ්‍යයක් කිරීමේ හැකියාව තියනවා. නමුත් ඇතැම් වේදිකා නාට්‍ය සංවිධායකයන්ගේ අසාධාරණ ක්‍රියාකරකම් නිසා වේදිකා නාට්‍යවලින් ශිල්පීන් ඉවත්වන තත්ත්වයක් අද උදාවෙලා තියනවා. මේ අත්දැකීමට මමත් මුහුණදීලා තියනවා. ඒ අත්දැකීම නිසා තමයි වේදිකා නාට්‍ය රංගනයෙන් ඈත්වෙලා පිටපත් රචකයෙක් විදිහ⁣ට කටයුතු කරමින් ටෙලිනාට්‍ය රංගනයට වැඩිපුර යොමු වුණේ.

 

ඒ වගේම මේ දිනවල නළුවෙක් විදියටත් ලාල් රංගනයෙන් දායක වෙන නාට්‍ය කීපයක් තිබෙනවා. වෘත්තීය නළුවෙක් හැටියට ප්‍රමිතිය ගැන නොහිතා රඟපාන්න වීම ගැනත් ඔහු තුළ තිබෙන්නේ කනගාටුවක්.

 

මේ දවස්වල මුරුගසන් වරුසාව, අකුරට යන වෙලාවේ ඇතුළු ටෙලිනාට්‍යය කීපයකම රංගන කටයුතුවලට මම සම්බන්ධවෙලා ඉන්නවා. නමුත් දැන් නිර්මාණය කරන ගොඩක් ටෙලිනාට්‍ය අපි ක්ෂේත්‍රයට ආපු කාලෙ නිර්මාණය වුණ ටෙලි නිර්මාණ වගේ තත්ත්වයෙන් ඉහළ ටෙලිනාට්‍ය නෙමෙයි. ⁣සමහර වෙලාවට අපිට පිටපත හම්බෙන්නෙ රඟපාන මොහොතෙදි. රඟපාන දර්ශන ගැන අපි දන්නෙ ඒ මොහොතෙදි. සමහර වෙලාවට රඟපාන අපි දන්නෙත් නැතුව අලුත් දර්ශන, අලුත් නළු නිළියො කතාවට එකතු කරන අවස්ථා සහ කතාවෙන් අයින් කරන අවස්ථා තියනවා. ප්‍රවීණ නළු නිළියන් වීම මත අපේ මහන්සියට සරිලන මුදලක් ඉල්ලුවහම ටෙලිනාට්‍ය නිෂ්පාදක කණ්ඩායම එය ලබාදෙනවා. නමුත් අලුත් නළු නිළියන්ට නම් ඒ ⁣විදිහට සාධාරණව ගෙවීම් කරනවා අඩුයි. රඟපාන්න, ප්‍රසිද්ධ වෙන්න තියන ආසාවට මිසක මුදලක් බලාපොරොත්තුවෙන් දැන් අලුත් නළු නිළියන්ට රඟපාන්න බැහැ. වෘත්තියෙන් අපි නළු නිළියො නිසා මේ සියලුදේට හුරුවෙලා රංඟන කටයුතු කරගෙන යනවා. නමුත් මගේ අදහස වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව ඇතුළු සියලු කලා නිර්මාණ ප්‍රේක්ෂකයන්ට හොඳ රසවින්දනයක් ලැබෙන විදිහ⁣ට ප්‍රමිතියක් ඇතුව නිර්මාණය විය යුතු බවත් ඒ සඳහා දායකවන නිෂ්පාදක කණ්ඩායමේ සාමාජිකයො, නළුනිලියො පිටපත් රචකයො ඇතුළු සියලු දෙනාට සාධාරණ ගෙවීමක් කළ යුතුයි කියලා

-- අරුණ--

Search