'යුද අපරාධවලට පළි ගන්නවා' - ඉරාන උත්තරීතර නායක

'යුද අපරාධවලට පළි ගන්නවා' - ඉරාන උත්තරීතර නායක

එක්සත් ජනපදය සහ ඉරානය අතර 'වහා බිඳෙන සුළු' දෙසතියක සටන් විරාමය ඊයේ (9) තව දුරටත් අවදානම් අඩියකට වැටිණි.


හෝර්මුස් සමුද්‍ර සන්ධිය පිලිබඳ පොරොන්දු කඩ කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනයෙන් ටෙහෙරානයට දැඩි දෝෂාරෝපණ එල්ල කෙරිණි.

ලෙබනනය මෙම සටන් විරාමයට අදාළ නැතැයි පවසා ඊශ්‍රායලය හිස්බුල්ලා ඉලක්ක වෙත බිහිසුණු ප්‍රහාරයක් ද එල්ල කළේය. ඉන්, පුද්ගලයින් 254 ක් ජීවිතක්ෂයට පත්ව 1,000කට අධික පිරිසක්  තුවාළ ලදහ. ලෙබනනයේ සිදු කළ ප්‍රහාරය සහ මිනිස් සංහාරය සටන් විරාමය උල්ලංඝනය කරන්නකැයි ඉරානය චෝදනා කළේය.

 

le349309847

ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉරානය, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි අවහිර කිරීමට පියවර ගත්තේය. අණ නොතකා, ඒ හරහා යාත්‍රා කරන නෞකා වෙත පහර දී  විනාශ කරන බවට තර්ජනය කළේය. ගෝලීය තෙල් සහ ගෑස් ප්‍රවාහනය යළි අර්බුදයට ලක් වූ අතර, සටන් විරාම නිවේදනය හමුවේ මඳ අස්වැසිල්ලක් ලද බොර තෙල් මිල ඊයේ නැවත ඉහළ ගියේය.

ඊයේ සමාජ මාධ්‍යයේ සඳහනක් කළ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, "ඉරානය වැඩේ හරියට කරන්නෑ," යි චෝදනා කළේය. "ගිවිසුම ඕක නොවේ," ඔහු පැවසීය.

තෙල් ප්‍රවාහනය නිසි ලෙස සිදු විය යුතු බවට ඔහු තදින් පැවසීය.

2026 04 06T173718Z 730931693 RC2TJKAX66H0 RTRMADP 3 IRAN CRISIS USA TRUMP 1024x683

අඟහරුවාදා (7) ඇරඹි සටන් විරාමයේ මුල් පැය 24 තුළ හෝර්මුස් ඔස්සේ යාත්‍රා කෙරුණේ එක්  ඉන්දන නෞකාවක් සහ වියළි තොග ප්‍රවාහන නෞකා පහක් පමණි. යුද්ධයට පෙර ඒ ඔස්සේ දෛනිකව නෞකා 140ක් පමණ යත්‍ර කළේය. ලොව බොර තෙල් සහ ගෑස් ප්‍රවාහනයේ පහෙන් පංගුවක් එකක් සිදු කෙරෙන්නේ මෙම සමුද්‍ර සන්ධිය  ඔස්සේය.  

අද (10) උදෑසනින්, ඊශ්‍රායලය ලෙබනනයේ සතුරු රොකට් ලෝන්චර 10ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළේය. ඊයේ උතුරු ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කරන ලද්දේ එමගින් බව ඔවුහු කියා සිටියහ.

ler34634634
ලෙබනනයේ ඉරාන හිතවාදී හිස්බුලා කණ්ඩායම ඊයේ ඊශ්‍රායලය වෙත එක් මිසයිල ප්‍රහාරයක් ද දියත් කළේය. එය ඊශ්‍රායල අහසේදී එරට ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් නිෂ්ක්‍රීය කෙරිණි. උතුරු හයිෆා නගරයේ වූ ඊශ්‍රායල හමුදා යටිතල පහසුකම් එහි ඉලක්කය වූ බව හිස්බුල්ලා සටන්කරුවෝ පසුව පැවසූහ.

එකඟතාවෙන් හෝ යුද්ධයෙන් හෝ සිය අරමුණු කෙසේ හෝ සාකශාත් කරගන්නා බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසීය. ඊශ්‍රායල හමුදා හැම විටම සීරුවෙන් බවත් ඕනෑම මොහොතක 'කොකා ගැස්සීමට' සූදානමින් සිටින  බවත් ඔහු කියා සිටියේය.

සටන් විරාමයට ලෙබනනය ඇතුළත් කෙරෙන තෙක් ඊශ්‍රායලය හා කිසිදු සෘජු කතාබහක් නොවන බව හිස්බුල්ලා සංවිධානය ද කීය.

ඉරාන යුද්ධයට සමගාමීව පසුගිය මස මුල ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කෙරිණි. ඒ, හිස්බුල්ලා සංවිධානය මුලිනුපුටා දැමීමේ චේතනාවෙනි. වත්මන් සටන් විරාමයට ලෙබනනය අදාළ නොවන බව ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ද පවසති.

එහෙත් ඉරානය මෙන්ම, මෙම සටන් විරාමයේ ප්‍රධාන මැදහත් පාර්ශ්වය ලෙස කටයුතු කරන පාකිස්ථානය, අවධාරණය කරන්නේ, ලෙබනනය එහි අනිවාර්ය   කොටස්කරුවකු බවය.

jd vance nov2025

ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහම්මෙද් බඛෙර් ඛලිබෆ් එරට පාර්ශවයෙන් සටන් විරාම සාකච්ඡාවේ මුලසුන හොබවයි. එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රමුඛ දූත පිරිස අනෙක් පස නියෝජනය කරති. ලෙබනනය සහ ඉරාන සහාය හිමි අනෙකු සියලු පාර්ශව සටන්විරාමයේ පරිබාහිර සාමාජිකයින් බවත්, එබැවින් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු සටන් විරාමයක් නොමැති බවත් වෑන්ස් සඳහන් කළේය.

ඉරානයට යුද්ධයෙන් කළ අපරාධයට පළි ගන්නා බව එරට උත්තරීතර නායක අයතොල්ලා මොජ්තබා ඛමෙනි ඊයේ අභියෝගාත්මක ප්‍රකාශයක සඳහන් කළේය.

y8y7898
"අප රටට පහර දී අපරාධ සිදු කළ කිසිවකුට දඬුවමින් තොර සමාවක් නොවන්නේය. අප සතු සෑම බිම් අඟලකම සිදු කළ හානිය වෙනුවෙන් නිසැකව වන්දි ලබා ගැන්මට කටයුතු කරන්නෙමු," ඔහු පැවසීය.

එක්සත් ජනපද - ඉරාන සාම සාකච්ඡා පළමු වටය හෙට (11) පාකිස්ථානයෙදී පැවැත්වේ.

යුද්ධය අවසන් කිරීම පිණිස ඉරානය විසින් බදාදා (8) වොෂින්ටනය වෙත යොමු කළ දස වැදෑරුම් යෝජනාවලිය ජනපති ට්‍රම්ප් 'කුණු කූඩයට' විසි කළ බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා, කැරොලයින් ලීවිටි ප්‍රකාශ කළාය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Israeli strikes pummel Lebanon, killing 250 in deadliest day of war

theleader.lk 

 

Search