ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාරක බලය ඉදිරියේදී තවදුරටත් දැවැන්ත ලෙස පුළුල් කරන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth පවසනවා.
එසේම, ඉරානයේ ඩ්‍රෝන සහ මිසයිල පද්ධති වෙත ඇමෙරිකාව සෑම පැයකදීම ප්‍රහාර එල්ල කරන බවයි ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ.
අමෙරිකාවට අවශ්‍ය තාක් කල් මෙම මෙහෙයුම පවත්වාගෙන යා හැකි බවත්, ඇමෙරිකානු මිත්‍ර පාර්ශ්වීය රටවල් ගණනාවක් මේ සඳහා සහය ලබාදීමට ඉදිරිපත් වී ඇති බවත් ආරක්ෂක ලේකම් Pete Hegseth සඳහන් කර තිබෙනවා.
මේ අතර, ලෙබනනයේ බීරූට් නුවරින් විශාල පිපිරීම් වාර්තා වී ඇති බවත්, ඉරානය විසින් සිය රටේ හෝටල් සහ නේවාසික ගොඩනැගිලි වෙත ප්‍රහාර එල්ල කළ බවත් බහරේනය සඳහන් කරනවා.
ඉරානය දීර්ඝකාලීන යුද්ධයක් සඳහා පූර්ණ සූදානමකින් පසු වන බවත්, මෙතෙක් යුද පිටියේ දැකගත නොහැකි වූ දියුණු නවීන ආයුධ ඉදිරියේදී භාවිතයට ගන්නා බවත්, ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රකාශක Ali Mohammad Naeini සඳහන් කර තිබෙනවා.
ඉදිරි ප්‍රහාරවලදී සතුරන්ට ‘වේදනාකාරී ප්‍රහාර’ එල්ලවනු ඇති බවත්, ඉරානයේ නව ක්‍රමවේද සහ ආයුධ ඉදිරියේදී දැකගත හැකි වනු ඇති බවත්, මෙම තාක්ෂණයන් මෙතෙක් මහා පරිමාණයෙන් භාවිත කර නොමැති බවයි ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ.