නේපාල අරගලකරුවෝ පාර්ලිමේන්තුව ගිනි තියයි.... අගමැති ඉල්ලා අස්වේ…

නේපාල අරගලකරුවෝ පාර්ලිමේන්තුව ගිනි තියයි.... අගමැති ඉල්ලා අස්වේ…

නේපාල අගමැති කේ.පී. ෂර්මා ඕලි, සමාජ මාධ්‍ය තහනමක් සහ දූෂණ සම්බන්ධයෙන් දින ගණනාවක් පැවති දැවැන්ත විරෝධතා හේතුවෙන් අඟහරුවාදා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

අගනුවර වන කත්මණ්ඩු සහ අනෙකුත් නගරවල දහස් ගණනක් ජනතාව අවිනිශ්චිත ඇඳිරි නීතිය කඩ කරමින් විරෝධතාවල නිරත වූ අතර, ඉහළ පෙළේ නායකයන්ගේ නිවාස මෙන්ම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ද ගිනි තබා ඇත.

සඳුදා දිනයේ කත්මණ්ඩු නුවර පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයක් ඇතුළු දැවැන්ත විරෝධතාවක් අතරතුර පොලිසිය වෙඩි තැබීමෙන් අවම වශයෙන් 19 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

“ජෙනරේෂන් Z” ලෙස හැඳින්වෙන විරෝධතාකරුවන් අවිනිශ්චිත ඇඳිරි නීතිය නොතකා පොලිසිය සමඟ ගැටී ඇත. ආරක්ෂක හේතුන් මත කත්මණ්ඩු හි ප්‍රධාන ගුවන්තොටුපළ ද වසා දමා ඇති අතර, අවට ප්‍රදේශයේ දැඩි දුම් තත්ත්වයක් පවතින බව ගුවන්තොටුපළ ප්‍රකාශකයෙකු NBC පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

විරෝධතාකරුවන් විසින් ගිනි තබන ලද නිවාස අතර, විශාලතම පක්ෂය වන නේපාල කොංග්‍රසයේ නායක ෂර් බහදූර් දියුබා, ජනාධිපති රාම් චන්ද්‍ර පෞඩෙල්, ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛාක් සහ හිටපු අගමැති පුෂ්ප කමල් දහාල් යන අයගේ නිවාස ද විය. අමාත්‍යවරුන් ඔවුන්ගේ නිවෙස්වලින් හෙලිකොප්ටර් මගින් ඉවත් කිරීමට හමුදාව කටයුතු කළ බව ද දේශීය මාධ්‍ය වාර්තා කර ඇත

Search