ඔසප් සමයේ කාන්තාවන්න කොන් කරණ 'චෞපඩි' සාපරාධී වරදක් වෙයි

මාසික ආර්තවය නැත්නම් ඔසප් කාලය තුළ කාන්තාවන් බලහත්කාරයෙන් නිවසින් පිටත රඳවා තැබීමේ චාරිත්‍රය සාපරාධී වරදක් කෙරෙන නීතියක් නේපාල පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබ ඇත.

 

ඔසප් වූ කාන්තාවක් නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් විසි තුනක (ඇමෙරිකානු ඩොලර් 30 කි) දඩයක් නියම කිරීමට එම නව නීතිය යටතේ බලය ලැබෙයි. සමාජයේ මුල්බැස ගෙන ඇති එම චාරිත්‍රය නේපාල භාෂාවෙන් හඳුන්වන්නේ "චෞපඩි" (chhaupadi) යන වචනයෙනි.

එම පුරුද්ද කෙරෙහි නේපාල බලධාරීන්ගේ අවධානය යොමු වුණේ, ඔසප් වූ කාන්තාවන් දෙදෙනකු නිවසින් පිටත මඩුවක නිදා ගනිමින් සිටියදී මරණයට පත්වීමත් සමඟයි. මාස් ශුද්ධි සමයේ සහ දරුවන් ප්‍රසූත කළ දිනවල කාන්තාවන් 'අපිරිසිදු එසේම අවාසනාව උදාකරන්නියන්' යයි මුල්බැස ගත් පෞරාණික හින්දු පිළිගැනීමක් ඇති අතර එම කාලය තුළ ඔවුන්ට නිවසින් පිටත මඩුවක හෝ හරක් ගාලක නිදා ගන්නා ලෙස බල කෙරෙන අවස්ථා වාර්තා වෙයි.

basu 14 ngsversion 1489123805781 adapt 1190 1

 

හරක් ගාලක නිදා ගන්නා ලෙස බල කෙරුනත් තමන් අපිරිසිදු හෙයින් එම කාන්තාවන්ට ගවයන් අතපත ගෑම තහනම්ය. එපමණක් නොව සිය නිවසේ ආහාර ගැනීමට හෝ වැසිකිළි පාවිච්චියට අවසර නොලබන ඔසප් වූ සහ ලඟදී දරුවන් වැදූ කාන්තාවන්ට සිය උවමනා සඳහා ගමින් පිටත බොහෝ ඈතට ඇවිද යාමට සිදු වෙයි. එම කාන්තාවන් වඩාත් දැඩි හිරිහැරයට ගොදුරු වන්නේ ශීත කාලය උදාවත් සමග දැඩි සීතලේ සිටීමට සිදුවීමත් සමඟයි.

එසේම ඔසප් වූ දැරියන්ට අධ්‍යාපනය සඳහා පාසල් යාමට ද අවසර නොලැබෙයි. ඔසප් වූ යොවුන් පාසල් දැරියක් නිවසින් පිටත මඩුවක නිදා සිටියදී සර්පයකු දෂ්ඨ කිරීමෙන් මරණයට පත් පුවතක් පසුගිය ජූලි මාසයේ නේපාලයෙන් වාර්තා විය. පහළොස් හැවිරිදි තවත් නේපාල දැරියක් ඔසප් සමයේ මඩුවක නිදා සිටියදී එම මඩුව ගිනි ගැනීමෙන් හුස්ම හිරවී මරණයට පත් අවස්ථාවක් 2016 දෙසැම්බර් මාසයේ ලද වාර්තාවකින් පැවසුණි. එවැනි අත්දැකීම් හමුවේ "චෞපඩි" (chhaupadi) චාරිත්‍රය තහනම් කිරීමට නේපාල බලධාරීන් මීට පෙරත් පියවර ගෙන ඇතත් එමගින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැත. නේපාල බලධාරීන් 2005 වසරේ එම චාරිත්‍රය නීතියෙන් නිල මට්ටමින් තහනම් කළත් තහනම කඩ කරන්නන්ට නියම කෙරෙන දඬුවම් ප්‍රකාශයට පත් නොකිරීම නිසා එමගින් සමාජමය බලපෑමක් සිදු නොවුණි එහෙත් බදාදා සම්මත කරණ ලද නව නීතිය අනුව ඔසප් වූ හෝ ළඟදී දරුවකු ප්‍රසූත කළ කාන්තාවන් "චෞපඩි" (chhaupadi) චාරිත්‍රය අනුව වෙන්කර තැබීම, එසේම එවැනි කාන්තාවන් ස්පර්ශ නොකළ යුතු යයි සැලකීම, හෝ ඔවුන්ට වෙනස්කම් සිදු කරනු ලැබීම අමානුෂික ක්‍රියාවක් වන අතර එය නීතියෙන් තහනම් කෙරෙයි. නීති පනවනු ලබන නමුත් බටහිර නේපාලයේ ප්‍රත්‍යන්ත ගම්මානවල "චෞපඩි" (chhaupadi) චාරිත්‍රය දිගටම පෙරට යමින් පවතින බව වාර්තා වෙයි.

 ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ ඇති මානව හිමිකම් වාර්තාවක් අනුව 2010 වසරේ වයස අවුරුදු 15 - 49 අතර නේපාල කාන්තාවන්ගෙන් 19% ක් "චෞපඩි" (chhaupadi) චාරිත්‍රය අනුගමනය කරති. ඔසප් සමය කාන්තාව අපිරිසිදු වෙන කාලයක් ලෙස සැලකෙන්නේ නේපාලයේ පමණක් නොවේ. එය අපිරිසිදු කාලයක් ලෙස සලකන ආගම් පිළිබඳවත් වාර්තා වෙයි. එම විශ්වාසය නිසා ඔසප් වූ කාන්තාවන් ඇතැම් ආගමික ස්ථානවල පුද පූජාවන්ට සහභාගී කර නොගනිති.

ඔසප් වූ කාන්තාවන් හින්දු කෝවිල් වලට ඇතුල් කර නොගැනීම එක් උදාහරණයක් පමණි. කෙදිනක හෝ කාන්තාවන්ගේ ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක් සොයා ගතහොත් පමණක් කාන්තාවන්ට සිය කෝවිලට ඇතුල් වීමට අවසර දෙන බව කේරලයේ, සබරිමලෙයි කෝවිලේ ප්‍රධාන පරිපාලකයා ප්‍රකාශ කරනු ලැබීම පසුගිය අවධියේ සමාජ සංවාදයකට හේතු විය. ඔසප් කාලයේ නම් ඔවුන්ට ආගමත් අහිමි කෙරෙයි එම ප්‍රකාශය සමාජ මාධ්‍ය මගින් දැඩි දෝෂ දර්ශනයට ලක්වූ බව 'ද ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත් පත වාර්තා කළේය. මුස්ලිම් පල්ලිවලත් එම තහංචිය බල පැවැත්වෙයි. මාලි රටේ ඩොගොන් (Dogon ) ගෝත්‍රයේ කාන්තාවෝ ඔසප් සමය නිවසින් පිටත මඩුවක ගත කරති.

මුලාශ්‍ර -බීබීසී

Search