ඉන්ධන මිල 8%කින් ඉහලට...

ඉන්ධන මිල 8%කින් ඉහලට...

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය යළිත් සම්බාධක පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සඳුදා දිනයේදී 8%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති සැපයුමට දීර්ඝකාලීන බාධා එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 ඉක්මවා ගිය අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 78සීමාව පසු කර ඇත.

පසුගිය මාසයේ පැවති සටන් විරාමයත් සමඟ තෙල් මිලෙහි දක්නට ලැබුණු පහත වැටීම, කලාපයේ යළිත් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමත් සමඟ මෙලෙස යථා තත්ත්වයට පත්ව තිබේ.

ලෝකයේ සමස්ත තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක් සහ ද්‍රව ස්වභාවික වායු (ළ්ණ්ඝ්) විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව, පසුගිය සති අන්තයේදී වෙළඳ නෞකාවලට එල්ල වූ ප්‍රහාර මාලාව ද මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කිරීමට හේතු විය.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ඇමරිකානු ආරක්ෂාව ලබා දීම වෙනුවෙන්, එම නෞකාවල පටවා ඇති භාණ්ඩවල වටිනාකමින් 20%ක ගාස්තුවක් අය කිරීමට ජනාධිපති ට්‍රම්ප් යෝජනා කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර නාවික ගමනාගමනය සඳහා භාවිතා කරන සමුද්‍ර සන්ධි හරහා ගමන් කිරීමේදී මෙවැනි අනිවාර්ය ගාස්තු අය කිරීමට ජාත්‍යන්තර නීතියෙන් අවසර නොමැති බව පවසමින් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (ඓMO) මෙම යෝජනාව දැඩි ලෙස විවේචනය කර ඇත.

බලශක්ති සමාගම් ද මීට පෙර ඉරානය ඉදිරිපත් කළ මෙවැනිම යෝජනා ප්‍රතික්ෂේප කර තිබුණේ, නිදහස් නාවික ගමනාගමනය ජාත්‍යන්තර වෙළඳාමේ මූලික පදනම බව පෙන්වා දෙමිනි.

තෙල් සැපයුමට මෙතෙක් සෘජු බාධාවක් එල්ල වී නොමැති වුවද, යුද අවදානම් රක්ෂණ වාරික ඉහළ යාම සහ අමතර ආරක්ෂක පියවර හේතුවෙන් ප්‍රවාහන පිරිවැය ඉහළ යනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.

මේ හේතුවෙන් ඩීසල්, ගුවන් යානා ඉන්ධන සහ පෙට්‍රල් මිල ගණන් ද ඉහළ ගොස් ඇති අතර, මැදපෙරදිගින් ලැබෙන ඉන්ධන නැව්ගත කිරීම් ප්‍රමාද වීමේ අවදානමක් ද මතුව තිබේ.

Search