විදුලි බිල ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස බාහිර ඖෂධසල් වලට දැරීමට සිදුවන පිරිවැය අධික වීම නිසා, නියමිත උෂ්ණත්වයන් යටතේ ඖෂධ ගබඩා කර නොගැනීමේ බරපතළ අනතුරක් මතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඇතැම් ඖෂධ වර්ග අනිවාර්යයෙන්ම නියමිත ශීතල පරාසයක පවත්වාගෙන යා යුතු වුවද, අධික විදුලි පිරිවැය හමුවේ බොහෝ ඖෂධසල් සහ සුපිරි වෙළෙඳසල් හිමියන් එහි ඇති වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කර තැබීමට පෙළඹී සිටින බව ඔහු පෙන්වා දෙයි.
මේ හේතුවෙන් වෙළෙඳපොළේ ඇති බොහෝ ඖෂධවල ගුණාත්මකභාවය බිඳ වැටීමේ දැඩි අවධානමක් පවතී.
මීට අමතරව, පවතින තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ වෛද්‍ය මධ්‍යස්ථාන හා රෝහල් ගාස්තු මෙන්ම රසායනාගාර පරීක්ෂණ සහ විකිරණ තාක්ෂණික පරීක්ෂණ ගාස්තුද ඉදිරියේදී ඉහළ යා හැකි බව ඒ මහතා අනතුරු අඟවයි.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පිරිහීම හේතුවෙන් ඖෂධ ආනයනය සඳහා දැරීමට සිදුවන පිරිවැය ඉහළ ගොස් ඇති අතර, මේ නිසා ඉදිරි කාලයේදී ඖෂධ මිලද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි වෛද්‍යවරයා පවසයි.
දැනටමත් බාහිර ඖෂධසල්වල සැලකිය යුතු ඖෂධ හිඟයක් පවතින බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා, රජයේ රෝහල්වල නොමැති ඖෂධ පිටතින් මිලදී ගැනීමට පැමිණෙන රෝගීන් මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවද වැඩිදුරටත් අවධාරණය කළේය