අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ට නියෝජ්‍ය පොලිස්පති ධූරයක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමට කරන ලද නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අබේසේකර පරිපාලන අභියාචනා විනිශ්චය කොමිෂන් සභාව හමුවේ නඩු පවරා ඇත.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරි සභාපතිත්වය දරණ මෙම කොමිෂන් සභාව හමුවේ අබේසේකර ගේ පැමිණිල්ල පසුගියදා කැඳවනු ලැබිණ.
පොලිස් කොමිෂන් සභාව විසින් ඔහුගේ උසස් වීමේ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් තමන්ට අගතියක් සිදුව ඇති බව හෙතෙම සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඒ අතර පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ගයේ සඳහන් කරන්නේ අබේසේකර මේ වන විට ස්ථිර සේවයෙන් විශ්‍රාම ලබා කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන බැවින් අදාළ නිර්දේශය පිළිගැනීමේ නීත්‍යානුකූල දුෂ්කරතාවක් ඇති එබැවින් එය ප්‍රතික්ෂේප කළ බවයි.
කෙසේ හෝ පරිපාලන අභියාචනා පිළිබඳ කොමිෂන් සභාව මේ සම්බන්ධව ලබන මස 23 වෙනිදා විභාගයක් පැවැත්වීමට තීන්දු කර ඇත.
මෙම විභාගයේ දී ශානි අබේසේකර වෙනුවෙන් පෙනි සිටින්නේ මෙයට පෙර අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ක්‍රියාකළ ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ යි.
( lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ)
theleader.lk