2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතු බවත් නඩු තීන්දුවේ සඳහන් වුණි.
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් රුපියල් මිලියන 50ක මුදලක් ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න විසින් රුපියල් මිලියන 50ක මුදලක් ද රජයට ගෙවිය යුතු බවත් නියෝගයේ සඳහන් විය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන විසින් තවත් මිලියන 50ක් ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.
transpirancy international sri lanka ආයතනය ඇතුළු පාර්ශ්ව දෙකක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන්ට සූරසේන ප්රමුඛ ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුනි.