පාස්කු ප්‍රහාරය වීමට පෙර සිටම ආරක්ෂක මණ්ඩලයට මා කැඳවූයේ නෑ -පූජිත කියයි

පාස්කු ප්‍රහාරය වීමට පෙර සිටම ආරක්ෂක මණ්ඩලයට මා කැඳවූයේ නෑ -පූජිත කියයි

පාස්කු  ඉරුදින ත්‍රස්ත  ප්‍රහාරයට මාස කිහිපයකට පෙර සිටම එවකට සිටි ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක මණ්ඩලයේ

රැස්වීම් සදහා තමන් ට කැදවීම් නොකළ ද, එවැනි ප්‍රහාරයක් සූදානමක් ඇති බවට සඳහන් ඉන්දීය බුද්ධි අංශයේ ලිපිය පිළිබඳව අප්‍රේල් මස 09 වැනි දා දැනගත් විගස අවශ්‍ය පියවර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකු දැනුම්වත් කළ බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) ප්‍රකාශ කළේය.

මහජන කැලඹීමක් ඇති නොවන අන්දමින් සුවිශේෂී ක්‍රමවේදයකට එම දැනුම්වත් කිරීමේ කටයුතු සිදු කළ බව ඔහු සඳහන් කළේය


පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත් බවට තමන්එල්ල කර ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් ජාතික ආරක්ෂාව කඩා වැටීම හේතුවෙන් සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයක වගකීම තමන්ටත් එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාටත් පමණක් එල්ල වූයේ ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සමඟ අමනාපව සිටීම ඇතුළු හේතු කිහිපයක් නිසා බව ඔහු සඳහන් කළේය.


බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවට අදාළව විත්තිවාචක ඉදිරිපත් කරමින් විත්තිකාර හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මේ බව ප්‍රකාශ කළේය.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.

අධිකරණයේ අවසර මත සිය විත්තිවාචකය පැය එකහමාරකට ආසන්න කාලයක් විවෘත අධිකරණයේදී ඔහු විසින් සිදු කරන ලදි.

ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ තමන් එල්.ටී.ටී. ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදුවූ මෙහෙයුම් ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කර සියලු සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ජාතික පොලිස් කොමිසමේ නිර්දේශය මත 2016 අප්‍රේල් 22 වැනිදා තිස් හතරවන පොලිස්පතිවරයා ලෙස පත්වූ බව ඔහු ප්‍රකාශ කළේය.

තමන් පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව පොලිසියේ විවිධ අංශ වර්ධනය කිරීමට කටයුතු කළ අතර උසස් කිරීම් සහ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් ක්‍රමවේදයක් ද සකස් කළ බව ඔහු සඳහන් කළේය.

2019 වන විට ශ්‍රී ලංකා පොලිසිය නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ තිබූ බවද එම ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා, අමාත්‍යංශ ලේකම් සහ පොලිස් කොමිසමට වගකීමට තමන් පොලිස්පතිවරයා ලෙස බැඳී සිටි බවද ඔහු සඳහන් කළේය.


දින පනස් දෙකේ ආණ්ඩු පෙරළියත් සමඟ දේශපාලන ගැටුම් ඇති වූ අතර නිලධාරීන්ට උසස්වීම් මාරුවීම් ලබාදීම සඳහා වාචික උපදෙස් දේශපාලන අධිකාරියෙන් ලැබුණ බවද කියා සිටි විත්තිකාර පූජිත ජයසුන්දර, මෙරට ආරක්ෂක අංශයේ විශාල කාර්යභාරයක් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ පොලිස් අධිකාරීව සිටි නාලක සිල්වා මහතා ළමුන් දහදෙනෙකුව දහතුන් දෙනෙකු අතුරුදහන් වීම සම්බන්ධ විමර්ශනය කරන අතරතුර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ බවද ඔහු කියා කියා සිටියේය.


"ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ලෙස සේවය කළ නිශාන්ත සිල්වා,  සහරාන් කණ්ඩායමේ කටයුතු ඇතුළු ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශනය කරමින් සිටියා. ඔහු වෙනත් තැනකට මාරු කරන ලෙස ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාලන සිරිසේන මහතා කිව්වා. නමුත් මම එය ප්‍රතික්ෂේප කරා. මම ඒ යෝජනාවට එකඟ වුණේ නෑ එහෙත් ජනාධිපතිවරයා විදේශගත වීමකදී ලේකම්තුමාට පණිවිඩයක් කියලා තිබුණා. ආපහු එනකොට මේ සියල්ල කරල තියෙන්න ඕනේ කියලා. ඔහු කිව්වා මේක කරන්න ඕනේ කියලා. මම කිව්වා ලිඛිතව මට ඉදිරිපත් කරන්න මම පොලිස් කොමිසමට යොමු කරන්නම් කියලා. ඒ අනුව එම ස්ථාන මාරුව සිදු කරලා එම නිලධාරියාව කැඳවලා මේ පිළිබඳව දැනුම් දුන්නා, මගේ මැදිහත්වීමක් හෝ කැමැත්තකින් කරන ස්ථාන මාරුවක් නෙමෙයි මෙය මෙය කියලා. නිලධාරියාගේ ආරක්ෂාවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් දෙදෙනෙකු ඇතුව ඇතුළු පිරිසක් යෙදවීමටත් කටයුතු කළා. "

"විදේශගතවෙලා ආවට පස්සේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඇහුව "කවුද අර නිශාන්ත ට්‍රාන්සර් කරේ?" කියලා " ස්වාමීනි මෙවැනි තත්ත්වයක් තිබුණා. ලොකු පීඩනයක් තිබුණා. '

මෙම සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට තීන්දුවකින් වන්දි ගෙවීමට සිදුවුණා. වසර හතක් තිස්සේ ඉතාම අපහසුතාවයට පත්වෙලා ඉන්නවා. මීට අදාළව සිවිල් නඩුව තිබෙනවා" යනුවෙන් ඔහු සඳහන් කර සිටියේය.

"නිශාන්ත සිල්වා මහතා මාරු කිරීමේ සිද්ධියෙන් පස්සේ ජනාධිපතිවරයාගේ විරසකය ලොකු බලපෑමක් කළා. ආරක්ෂක මණ්ඩලය ජනාධිපතිගේ සභාපතිත්වයෙන් පැවැත්වෙනවා. රාජ්‍ය බුද්ධි ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් ගණනාවක් ඊට සහභාගි වෙනවා. ලිඛිතව කිසිවක් එහි සිදුවන්නේ නෑ. රැස්වීම කැඳවීම පවා සිදුවන්නේ වාචිකවයි. ආරක්ෂක මණ්ඩලය රැස්වීම මට දැනුම්දුන්නේ නැති නිසා එම රැස්වීම පැවැත්වුණු දිනයක සවස පහට පමණ මම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ව සිටි කපිල වෛද්‍යරත්න මහතාගෙන් ඒ බව ඒ පිළිබඳව විමසුවා. එවිට ඔහු කිව්වා "කණගාටුයි, අතිගරු ජනාධිපතිතුමා කිව්වා ඔබව කැඳවන්න එපා කියලා "

මම ඇහුවා " මා වෙනුවෙන් වෙනත් කෙනෙක් ඉන්නවද කියලා".

"නෑ අවශ්‍ය නෑ" කිව්වා. ඒ වගේ මාස පහක පමණ කාලයක පටන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට මට යන්න බැරි වුණා. මට කැඳවීම් කළේ නෑ. 2018 ඔක්තෝම්බර් 23 වැනිදා අර නිලධාරියාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් පසු ව මෙම ප්‍රහාරයෙන් පසුව අප්‍රේල් 23 හෝ 24 ආරක්ෂක මණ්ඩලයට තමයි මට කැදවීමක් කළේ "යනුවෙන් ඔහු සඳහන් කළේය.


සහරාන් ඇතුළු කණ්ඩායමේ යම් යම් තොරතුරු පිළිබඳව තහවුරුක් කර නොගත් තොරතුරු ආවා. නමුත් 2019 අපේ මස 09 වැනිදා තොරතුරක් ආවා සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන්. ඒ තොරතුර රාජ්‍ය බුද්ධියේ ඒකකයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ජාතික බුද්ධි ඒකකයේ ප්‍රධානී  සිසිර මෙන්ඩිස් ට යවලා තිබුණා . රාජ්‍ය බුද්ධි සේවය සම්පූර්ණයෙන්ම ස්වාධීනයි ජාතික බුද්ධි සේවය තිබුණේ රක්ෂක අමාත්‍යාංශය යටතේයි. රාජ්‍ය බුද්ධි අංශය සෘජුවම ජනාධිපතිට සම්බන්ධයි. මට ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට කැඳවීම් නොකළ නිසා සිසිර මෙන්ඩිස් විසින් එම තොරතුර යොමු කරලා තිබුණා. මහජන කැලඹීමක් ඇති නොවන පරිදි  විධිවිධාන යොදන්න තමයි එහිදී අවධානය යොමු වුණේ. ඒ අනුව සාමාන්‍ය පණිවිඩ ක්‍රමය අනුගමනය නොකර වෙනම නිලධාරීන් හතර දෙනකු හරහා බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්.ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පියලාල් දසනායක සහ ත්‍රස්ත මර්දන කොට්ඨාශයට මම ඒ පිළිබඳව දැනුම් දීමක් කළා"

"ස්වාමීනි, මට චෝදනා 854ක එල්ල වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් පියවර ගත්තේ නෑ මිනී මැරීමට ආධාර අනුබල දීම කියලා. ආධාර අනුබල දීමක් කොහොමද වෙන්නේ? මට මිනීමැරීමේ චේතනාවක් තිබුණෙ නැහැ. පළමු තොරතුරු ආව මොහොතේ පටන් ගත් පියවර පිළිබඳව තොරතුරු පිළිබඳව මම ජනාධිපති කොමිසමට , පාර්ලිමේන්තු තේරීම් කරක කමිටුවට සහ අධිකරණවලට යොමු කළා. එහෙත් අපිට අයිති වූයේ ශෝකාකූල ඉරණමක් රාජ්‍ය බුද්ධි සේවයෙන් කිසිම ස්ථීරසාර තොරතුරක් මේ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලැබුණේ නෑ . "

"මේ චෝදනාවලට මා නිර්දෝෂීයි, පොලිස්පතිවරයා ලෙස මට කළ හැකි දේ මං කළා. මහජනතාව කලබලයට පත් නොවන අයුරින් කිරීමට තමයි කටයුතු කළේ. ඒ වන විට ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳවැටිලා තිබුණේ. වෙච්ච සිද්ධියෙන් පසුව තමයි මෙහි බරපතළකම දන්නෙ. මේ වන විට මීට සම්බන්ධ වන අය හෙළිවෙමින් තියෙනවා."

"නීතිපති දෙපාර්තමේන්තුවෙන් මට දැනගන්න ලැබුණේ දේ තමයි පූජිත සහ එම පිරිසට පමණක් එරෙහිව මෙම නඩු පැවරීම් කටයුතු කරන්න කියන උපදෙස් ලැබුණ බව. පොලිස්පතිවරයා විදියට මමත් ආරක්ෂක ලේකම්වරයාත් විතරක් ඇයි මේවට වග කියන්නේ? මේ රටේ හමුදා බුද්ධි අංශයක් නැද්ද? දේශපාලන සහයෝගය සහ මෛත්‍රිපාලගේ පක්ෂපාතීත්වය සහ අමනාපය හේතුවෙන් තමයි අපට මෙවැනි සෝචනීය ඉරණමක් අත් වුනේ" යනුවෙන් පූජිත ජයසුන්දර  සඳහන් කර සිටියේය.

තමන්ට එරෙහිව විවිධ අවස්ථාවලදී විවිධ චෝදනා වුවද අධිකරණ නියෝග මත දුරකථනය සම්බන්ධතා සහ ගිණුම් පරීක්ෂා කළ අවස්ථාවේ දී කිසිදු කරුණක් තමන්ට එරෙහිව ඉදිරිපත් කිරීමට බලධාරීන් අපොහොසත් වූ බවද ඔහු සඳහන් කළේය


සෑම විටම මහජනතාවගේ යහපත සහ මහජන සාමය වෙනුවෙන් කටයුතු කළ තමන්ට මිනීමැරීමේ කිසිදු චේතනාවක් නොමැති බව ඔහු සඳහන් කළේය. දක්ෂතාවය සහ නිසි ක්‍රමවේදය අනුව පොලිස්පති ධුරයට පත් වූ තමන් පොලිස්පති වූ පමණින් මෙම චෝදනාවන්ට ලක් වීමට සිදුවීම ඉතාම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව පූජිත ජයසුන්දර මහතා සිය විත්ති වාචකය අවසන් කරමින් සඳහන් කළේය.


අනතුරුව ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ සාක්ෂි දීම සඳහා වන සාක්කරුවන්ගේ ලැයිස්තුවක් මෝසමක් මගින් ඉදිරිපත් කළ බව නීතිඥ රොෂාන් දෙහිවල මහතා අධිකරණයට දන්වා සිටියේය .ඒ අනුව අදාල සාක්ෂි ලැයිස්තුවේ නම සඳහන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නන්දන මුණසිංහ, වරුණ ජයසුන්දර සහ ප්‍රියලාල් දසනායක යන මහත්වරුන්ට ලබන අප්‍රේල් මස 24 වැනිදා ගන්න සාක්ෂි ලබාදීමට අධිකරණය හමුවේ පෙනී සිටන ලෙස නියම කරමින් සිතාසි නිකුත් කරන ලදී.

මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔහුගේ විත්තිවාචකය ප්‍රකාශ කිරීම අප්‍රේල් විසිනවවැනිදා සිදු කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය

පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරුම් සිදු කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එවකට පොලිස්පති ව සිටි පූජිත ජයසුන්දර මහතා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව අධිචෝදනා 855 ක් යටතේ නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ වෙන් වෙන් ව නඩු පවරා තිබුණි.

එම නඩු නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්සදීන් යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනු අතර පැමිණිලි දෙකේම සාක්ෂි අවසන් කිරීමෙන් අනතුරුව විත්තියේ සාක්ෂි කැඳවීමෙන් තොරවම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදි.

2021 පෙබරවාරි මස 18 වැනිදා ප්‍රකාශ ට පත් කළ එම මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ නඩු තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අභියාචන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේ ඉන් අනතුරුව ය.


ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් මෙම අභියාචන පෙත්සම් වල තීන්දුව එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා 2024/11/05 දින අදාළ මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනුකළ අභියාචන පෙත්සම් දෙකක් පිළිගැනීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළ බව සදහන් කළේ ය.


ඉතා සංකීර්ණ සිදුවීම් මාලාවක් සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක විත්තිවාචක නොකැඳවා විත්තිකරුවන් නිදහස් නොකළ යුතු බව අධිකරණයේ මතය බවද , මහාධිකරණය විසින් විත්ති වාචක කැඳවිය යුතු ව තිබූ බව ද තීන්දුවෙහි සඳහන් විය.

එබැවින් විත්තිවාචක කැඳවීමෙන් තොරව 2022 පෙබරවාරි මාස 18 වැනිදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දෙන ලද නඩු තීන්දුව නිෂ්ප්‍රභ කිරීමට නියම කළ අතර එම මහාධිකරණ නඩුවට අදාළව විත්ති වාචක කැඳවීම ට කටයුතු කරන ලෙස මහාධිකරණ විනිසුරු මඩුල්ලට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලදී.

ඒ අනුව පසුගිය 13 වැනිදා විවෘත අධිකරණයේදී විත්තිකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව කියවා දෙන ලදී

අනතුරුව විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් සිදු කරන බවත් සාක්ෂිකරුවන් කැදවීමට අපේක්ෂා කරන බවත් ඔවුන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරු ප්‍රකාශ කළ හ.

විනිසුරු මඩුල්ල ඒ සඳහා අවසර ලබා දුන්නේ ය.

අදාළ සාක්ෂි කරුවන් ගේ නම් ඇතුළත් සාක්ෂි ලැයිස්තු සතියක දී අධිකරණය ට ගොනු කරන ලෙස නියම කෙරිණි.

නීතීඥ චමින්ද අතුකෝරල මහතා විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි අතර නීතීඥ විදුර රණවක මහතා සමග නීතිඥ රොෂාන් දෙහිවල මහතා විත්තිකාර, වගඋත්තරකාර පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුන් වන සුදර්ශන සිල්වා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

| නෙල්කා මැදගෙදර
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

theleader.lk 

Search