පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුකිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩු විභාගයේදී විත්තිකරුවන් වන තමන්ට
නීතිඥ නියෝජනයක් නොමැති වීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අදාල නඩුවේ විත්තිකරුවන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැත්වෙන අදාල නඩුව විභාග කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.
අදාල නඩුව දිනපතා විභාගයට ගැනීම හේතුවෙන් මීට පෙර තමන් නියෝජනය කළ නීතිඥවරුන් ඉවත්ව ගිය බව ද පසුව රජයේ වියදමින් නීතිඥවරු පත් කළද එම නීතිඥවරුන්ට දෙමළ භාෂාව සන්නිවේදනය කර ගැනීමට ඇති අපහසුව නිසා ඔවුන් ද නඩුවෙන් ඉවත් වූ බවද මෙම පෙත්සම මගින් පෙන්වා දී ඇත.
එම නඩුවේ විත්තිකරුවන් වන මුහම්මද් අක්‍රම් අහක්කම්, මොහොමඩ් හනීෆා සෙයිනූල් ආබ්දීන්, ජසිම් සෙයිනූල් ආබ්දීන් සහ රසික් රාසා හුසේන් විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ නඩුව විභාගයට ගන්නා ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ලේඛකාධිකාරීවරයා නම් කර සිටිති.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුකිරීම ට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270ක් යටතේ තමන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිපතිවරයා විසින් 2021 වසරේ නඩු පවරා ඇති බව පෙත්සමේ දැක්වේ.
එම නඩුවේ අතුරු නියෝගයකට එරෙහිව එක් විත්තිකරුවකු ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාල නඩුව දිනපතා විභාගයට ගෙන අවසන් කරන ලෙස නියෝගයක් නිකුත් කළ බව පෙත්සමේ සඳහන් වේ.
අනතුරුව අදාල නඩුව දිනපතා විභාගයට ගැනීම සිදුකරන අතර විත්තිකරුවන් වෙනුවෙන් ඊට පෙර අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් වන ගසාලි හුසේන්, රුෂ්ඩි හබිබ් සහ කේ.එස් රත්න වේල් යන මහත්වරු එම නඩුවෙන් ඉවත්වන බව අධිකරණයට දැනුම් දී තිබූ බවද මෙම නඩුව දිනපතා විභාගයට ගන්නා බැවින් තමන් විසින් බාරගත් වෙනත් අධිකරණවල පවතින නඩු වලට පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම ඊට හේතුව ලෙස ඔවුන් දක්වා තිබූ බවද පෙත්සම්කරුවන් විසින් පෙන්වා දී තිබේ.
අනතුරුව රජයේ වියදමින් නීතිඥවරු පත් කළ නමුත් දෙමළ භාෂාව සන්නිවේදනය කර ගැනීමට ඇති අපහසුව නිසා ඔවුන් තමන් වෙනුවෙන් පෙනී සිටීමෙන් ඉවත් වූ බව පෙත්සම්කරුවන් විසින් සඳහන් කර ඇත.
සාක්ෂිකරුවන් 2300කට අධික පිරිසක් නම් කර සිටින මෙම නඩුවේදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා සාධාරණ නීතිඥ අවශ්‍ය බවද එසේ නොමැති වුවහොත් තමන්ට දැඩි අගතියක් වන බව මෙම පෙත්සම්කරුවන් විසින් පෙන්වා දී තිබේ. එම හේතුව මත සිය නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට තිබෙන නිත්‍යානුකූල අයිතිය උල්ලංඝනය වන බවට පෙත්සම්කරුවෝ පැමිණිලි කර සිටිති.
එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13(3) සහ 13(5) යන ව්‍යවස්ථාවන්හි සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු වන්ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
විත්තිකරුවන්ට නිසි නීතිමය නියෝජනය ලබා දී මෙම නඩුව විභාගයට ගන්නා ලෙස පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
(සටහන | නෙල්කා මැදගෙදර)
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනි)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සබැඳි පුවතක් :
ඉහලම පෙලේ අපරාධ නඩුවක් ‘කණිෂ්ට නීතිඥයන් යොදවා කඩිනමින්’ අසන්නට යාමෙන් යුක්තිය ඉටුවීම පිලිබඳ ගැටළුවක්
theleader.lk