සාමාන්‍ය පරිදි හෙට සහ අනිද්දා දිනවල බෙදුම්කරුවන් වෙත ඉන්ධන බෙදා හැරීම් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ලබන මැයි මාසය දක්වා මේ වන විට ඉන්ධන තොග පවතින බවයි.
කෙසේ වෙතත්, පාරිභෝගිකයින් වෙත අඛණ්ඩව ඉන්ධන සැපයීම සදහා ප්‍රමාණවත් තොග ඇනවුම් කර පිරවුම්හල්වල කටයුතු පවත්වාගෙන යාම පහසු කරළීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළා.
මේ අනුව අදාළ චෙක්පත්, ඇණවුම් අංශය වෙත හෝ තොග පර්යන්තය වෙත පෙර දිනයේදී භාරදීමට පියවර ගැනීම මගින් ඉන්ධන ඇණවුම් කිරීමේදී ඇති විය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකි බවයි එම සංස්ථාව පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස සලකා ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කළ යුතු බවයි.
මේ අතර, වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම ඔත්තේ සහ ඉරට්ටේ අංක අනුව ඉන්ධන නිකුත් කිරීම ඊයේ ආරම්භ කෙරුණු අතර අද දිනය ඉරට්ටේ අංකය සහිත දිනයක් බැවින් ඉන්ධන ලබා ගැනීමට හැකි වන්නේ වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම ඉරට්ටේ ඉලක්කමක් සහිත වාහනවලට පමණයි.
මේ අතර, ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක, සුමුදු රත්නායක කියා සිටියේ QR කේතය ආශ්‍රිතව හටගෙන තිබූ ගැටලු මේ වන විට විසඳා ඇති බවයි.
කෙසේ වෙතත්, QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර මේ වනවිට සතියකට ආසන්න කාලයක් ගතව ඇතත් ඇතැම් වාහන හිමියන්ට එක්වරක් හෝ ඉන්ධන ලබා ගැනීමට හැකි වී නැහැ.