විදුලි කප්පාදුවක අවදානම ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

විදුලි කප්පාදුවක අවදානම ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

රටේ කිසිදු අර්බුදයක් නොමැති බවට රජය ප්‍රකාශ කළ ද, මේ වන විට නොරොච්චෝල බලාගාරය කේන්ද්‍ර කරගනිමින් බරපතල ජාතික අර්බුදයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ආයෝජනයට හිතකර පරිසරයක් සඳහා අඛණ්ඩ විදුලිය ලබාදෙන බව පැවසුවත්, පසුගිය 12 වැනිදා සිට ඊයේ දිනය දක්වා අඛණ්ඩව මෙගාවොට් 51 සිට 176 දක්වා විශාල විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීම අඩුවී ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, මෙයට ප්‍රධාන හේතුව බාල ගල්අඟුරු භාවිතය බව ද සඳහන් කළේය.

යුද්ධය නිසා නොව, බාල ගල්අඟුරු භාවිතය නිසා අධික ලෙස පියාසර අළු සහ තැන්පත් අළු ජනනය වීමෙන් අළු කළමනාකරණ උපකරණවල ගැටලු මතුව ඇති බවත්, උත්සව සමයේ සිමෙන්ති සමාගම් වසා තැබීම නිසා මෙම අළු ඉවත් කරගත නොහැකිව අළු කන්දට යැවීමට සිදුවීමෙන් දරුණු පරිසර සහ සෞඛ්‍ය ව්‍යසනයක් නිර්මාණය වන බවත් ඔහු පැවසීය.

විශේෂයෙන්ම කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් සහ ස්වසන රෝගීන්ට මෙයින් දැඩි බලපෑම් එල්ල වන අතර කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවයට ද මෙයින් හානි සිදුවන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව, මහජන උපයෝගීතා කොමිසමේ දත්ත අනුව ඉදිරි මාසවලදී බලාගාර නඩත්තු කටයුතු හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවීමේ අවදානමක් පවතින බවත්, ගල්අඟුරු අර්බුදය නිසා අඩුවන විදුලිය නිපදවීමට ජනතාවට හිමිවිය යුතු ඩීසල් යොදාගැනීමෙන් පිරිවැය ඉහළ යන බවත් ඔහු පැවසීය.

එම ඉහළ පිරිවැය නැවතත් විදුලි බිල හරහා ජනතාව පිට පැටවීමට රජය සූදානම් වන බවත්, QR ක්‍රමය තවමත් නිවැරදි වී නොමැති අතර කර්මාන්තශාලාවල ඉන්ධන පවා කප්පාදු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය. ගොවියා, ධීවරයා සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් මෙයින් අගාධයට යන බැවින්, ලෝකයේ සෙසු රටවල් මෙන් මහා භාණ්ඩාගාරයේ ඇති මුදල් යොදාගෙන ජනතාවට සහන ලබාදීමට රජය වහාම පියවර ගත යුතු බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

 

newstube.lk 

Search