අද සිට ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වේ

අද සිට ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වේ

අද (19) සිට ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

වාහන අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ හෝ බිංදුව නම් ඉරට්ටේ දිනවලත්, සෙසු වාහන සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බවයි එහි සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ.

ඒ අනුව, අද දිනයේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවන් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතිනවා‍.

එසේම QR ක්‍රමවේදය යටතේ මේ දක්වාත් ඉන්ධන කෝටාව ලබාගෙන නොමැති පුද්ගලයින් හටද අද දිනයේදී ඔත්තේ, ඉරට්ටේ ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර, වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ක්‍රියාත්මක වන බැවින්, වාහනයේ අනන්‍යතාව නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී නිල ලේඛනයක් ලෙස ආදායම් බලපත්‍රය, වාහනයේ ලියාපදිංචි සහතිකය, වාහන රක්ෂණ සහතිකය හෝ වාහන දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛනවලින් එකක් ඉදිරිපත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ වාහන අංක තහඩු නිකුත් නොකිරීම හේතුවෙන් ඇතැම් වාහන හිමියන් විවිධාකාර අංක තහඩු භාවිත කිරීමට පෙළඹී තිබෙනවා. එම නිසා වාහනයේ අනන්‍යතාව නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා ඉහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Search