සංස්කෘතික දෙපාර්තමේන්තුව 2024 වසරේදී 'රාජ්‍ය නැකැත් කමිටුව' විසුරුවා හැරි අතර මේ දක්වා රජය නැවතත් නැකැත් කමිටුවක් පත් කර නොමැත.
මෙවර අවුරුදු නැකැත් ප්‍රකාශයට පත් කෙරුණේ පෝය කමිටුවේ සාමාජිකයන් විසින් බවත්, රාජ්‍ය නැකත් කමිටුවක් පත්කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් පවසමින් ජ්‍යෝතිර්වේදීන් පිරිසක් ඉකුත් අඟහරුවාදා (10) රජයට සිය අප්‍රසාදය පළ කළේය.
ඒ අතර ජ්‍යෝතිර්වේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ද බුද්ධශාසන අමාත්‍යාංශයට ගොස් රාජ්‍ය නැකැත් කමිටුව වහා සක්‍රීය කරන ලෙස ඉල්ලා තිබුණි.
මෙවන් පසුබිමක සර්වජන බලය ප්‍රකාශ කළේ රාජ්‍ය නැකැත් කමිටුව පිහිටුවීමට රජය කඩිනම් පියවර නොගන්නේනම් සිය පක්ෂයේ මැදිහත්වීමෙන් ජනතාවට අවුරුදු නැකැත් සීට්ටුව ඉදිරිපත් කරන බවය.
ඒ අනුව අද වනවිට සර්වජන බලය රජයට ලබාදුන් කාලය ඉක්මවා ගොස් ඇති අතර පොරොන්දු වු පරිදි සියලුදෙනාට එකඟ විය හැකි නැකැත් සීට්ටුවක් සකස් කරන ලෙස ඔවුන් පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන් රාජමහා විහාරයේ පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් කර තිබුණු ඉල්ලීම අනුව අද (14) ඒ සඳහා පියවර තැබුණි.
ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසක් අද පෙරවරුවේ එම පිරිවෙනට පැමිණ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් හමුවුණි.
මේ අතර මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ආරාධනයට අනුව ජ්‍යෝතිර්වේදීන් 17 දෙනෙකු අද සුනේත්‍රා මහා දේවි පිරිවෙනට පැමිණ සාකච්ඡා කර සියලුදෙනාට එකඟ විය හැකි නැකත් සීට්ටුවක් සකස් කිරීමට පියවර ගැනුණි.
ඒ අනුව සියලුදෙනාගේ එකඟතාවෙන් පසු එය ප්‍රකාශයට පත් කෙරුණි.