සෝෆා, ඇක්සා සහ මොන්ටානා ගිවිසුම් හරහා රටේ ස්වෛරීභාවය පාවාදීමේ භයානක ප්‍රතිඵල විමල් හෙළි කරයි.
ඉරාන යාත්‍රාවේ අර්බුදය සහ රහස් ගිවිසුම් ගැන ජානිපෙ නායකයා ගෙන් විශේෂ ප්‍රකාශයක්
මැදපෙරදිග අහිමි වන ඇමෙරිකානු මිලිටරි තිප්පොළවලට විකල්පය ශ්‍රී ලංකාවද?
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුද්ධයේ තීරණාත්මක අනියම් පාර්ශ්වකරුවෙකු බවට ශ්‍රී ලංකාව පත් කරමින්, මෙරට ජාත්‍යන්තර යුද උගුලක දඩබිමක් බවට පත් කිරීමේ බරපතල අවදානමක් මතුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ පවසයි.
ඊයේ (07) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රජය විසින් ජනතාවට වසන් කර අත්සන් කර ඇති රහස් ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලංකාව අද වන විට ස්වාධීන තීරණ ගත නොහැකි අසරණ රාජ්‍යයක් බවට පත්ව ඇති බවයි.
මෑතකදී ඉන්දියාවේ පැවති ‘මිලාන් 2026’ නාවික අභ්‍යාසයට සහභාගී වී ආපසු යමින් සිටි ඉරාන නාවික යාත්‍රාවට එල්ල වූ ප්‍රහාරය සහ ඉන් අනතුරුව ඇති වූ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් විමල් වීරවංශ මෙසේ පැවසීය:
"ඉන්දියාවේ නිල ආරාධනය පරිදි පැමිණි ඉරාන නාවික යාත්‍රාවට අපේ ආර්ථික කලාපය තුළදී ඇමෙරිකානු සබ්මැරීන් පාවිච්චි කරලා පහර දුන්නා. මේක කල්තියා සැලසුම් කරපු මෙහෙයුමක් බව ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් කන්වාල් සිබල් පවා කියනවා. ඇමෙරිකානු හමුදා අන්තිම මොහොතේ අභ්‍යාසයෙන් ඉවත් වුණේ මේ ප්‍රහාරය දන්න නිසයි. ඉන්දියාවේ 'රෝ' ඔත්තු සේවය මේ ගැන දැන සිටියේ නැද්ද? තමන්ගේ ආරාධනාව මත පැමිණි අමුත්තන්ව මෙවැනි අනතුරකට ඇද දැමීම ඉතාම අශීලාචාර ක්‍රියාවක්. මේක ඉතාම සූක්ෂම විදිහට ඉන්දියාව මේ අර්බුදයට ශ්‍රී ලංකාව ගොදුරු කරෙව්වා. මේ තමයි නරකම අසල්වැසියාගෙන් ලැබෙන නරකම අත්දැකීම."
ප්‍රහාරයට ලක්වූ යාත්‍රාවේ පිරිස බේරාගැනීම මානුෂීය වගකීමක් වුවද, දෙවන ඉරාන යාත්‍රාව කොළඹ වරායට ගෙන්වා ගැනීම වැළැක්වීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට බලධාරීන්ට සෘජුවම බලපෑම් කර ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.
"දෙවෙනි නාවිකාව කොළඹ වරායට එන්න අවසර ඉල්ලනකොට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ බලධාරීන් කිව්වා කොළඹ වරායට ගෙන්නගන්න එපා, ගෙන්නුවොත් ගුවන් මගින් පහර දෙන්න සිද්ධ වෙනවා කියලා. අන්න ඒ වෙලාවේ තමයි ආරක්ෂක ලේකම්වරයා ඉරාන තානාපතිට කියන්නේ මේක භාරගන්න බෑ කියලා. පස්සේ ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් දේශපාලඥයන්ගේ පීඩනය මත තමයි ඇමෙරිකාව එක්ක සාකච්ඡා කරලා යාත්‍රාව ත්‍රිකුණාමලයටත්, පුද්ගලයන් කොළඹටත් ගේන්න එකඟ වුණේ. අද රොයිටර් පුවත් සේවය කියනවා ඔවුන්ට යන්න දෙන්න එපා කියලා ඇමෙරිකාව බලපෑම් කරනවා කියලා. පණ නැත්තේ මොකවත් හින්දා නෙවෙයි, අපි රහස් ගිවිසුම් වලින් බැඳිලා ඉන්නේ."*
ලංකාවේ භූ-දේශපාලනික වැදගත්කම නිසා ඇමෙරිකාව මෙරට සිය මීළඟ මිලිටරි තිප්පොළ කරගැනීමට උත්සාහ කරන බව පෙන්වා දුන් වීරවංශ, මැදපෙරදිග කලාපයේ වසර 30ක් තිස්සේ තිබූ ඇමෙරිකානු කඳවුරු විනාශ වී ඇති පසුබිමක ඔවුන්ට ඇති එකම විශ්වාසනීය විකල්පය ශ්‍රී ලංකාව බව අවධාරණය කළේය.
"මැද පෙරදිග මිලිටරි තිප්පොළවල් ටික ඔක්කොම අහිමි වී තියෙන තත්ත්වයක් යටතේ, වඩාම විශ්වාසනීය තිප්පොළ හදාගන්න පුළුවන් තැනක් හැටියට මේ ඉන්දියන් සාගර කලාපයේ ශ්‍රී ලංකාව ඔවුන්ට පේනවා. ජොන් කෙරී එදා ඇවිත් කිව්වේ ඒකයි. දැන් ඔවුන් උත්සාහ කරන්නේ එක්කෝ ඔවුන්ගේ බලඇණියක් මේක ඇතුළට රිංගවගන්න, නැත්නම් ලංකාව දඩබිමක් කරගන්න."*
1995 දී අත්සන් කළ 'සෝෆා' (SOFA) ගිවිසුම, 2017 දී පිටු 17ක් දක්වා දීර්ඝ කළ 'ඇක්සා' (ACSA) ගිවිසුම සහ වත්මන් රජය අත්සන් කළ 'මොන්ටානා' ගිවිසුම මගින් ඇමෙරිකානු හමුදාවන්ට මෙරට තුළ ඕනෑම පහසුකමක් ලබාගැනීමට ඉඩ සලසා ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මීට අමතරව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති රහස් ගිවිසුම් 7ක් පිළිබඳවද ඔහු කරුණු හෙළි කළේය.
"අපි රටට නොපෙන්නපු ගිවිසුම් මගින් බැඳිලා. ඒ නිසා දැන් අර අතපය දෙකම ගැටගහ ගත්තු මිනිහෙක් පීනන්න උත්සාහ කරනවා වගේ තත්ත්වයකට ලංකාව රාජ්‍යය ඇදවට්ටලා ඉවරයි. ඉන්දියාව ඉන්නේ 'කොඩ්' (QUAD) එකේ. ඔවුන් ඇමෙරිකාවත් එක්ක මිලිටරි ගිවිසුම් තුනකින් බැඳිලා. ඒ ඉන්දියාව එක්ක අපි ආරක්ෂක ගිවිසුම් ගහපුවාම අපිත් වක්‍රාකාරව අර සියල්ලටම කොටු වෙනවා. එම්.සී.සී (MCC) එකෙන් හැදුවේ මිලිටරි උවමනාවට යටිතල පහසුකම් හදන්නයි. අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් 30 ගාණක් ඇයි අපිට? ඒ මිලිටරි උවමනාවන්ටයි."
අසල්වැසි රටවල් සහ ඇමෙරිකාව පනවන උගුල්වල ලංකාව හිරවී ඇති බවත්, මෝදි මහතා කකුල් දෙක නවාගෙන ලංකාව දෙස බලා සිටින බවත් පැවසූ වීරවංශ මහතා, රටේ ස්වෛරීභාවය පාවා නොදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
"ජාතියත්, රාජ්‍යයත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේක සූදුවක් නෙවෙයි. මේක ඉතා උතුම් රාජ්‍යයක්. බැරි නම් කරුණා කරලා ඒ වගකීම සුදුසු වෙනත් අයකුට භාර දෙන්න. එසේ නොමැතිව මේ රාජ්‍යය තවදුරටත් ඒ සතුරු කඳවුරුවල උවමනාවන් වෙනුවෙන් ගොදුරු බිමක් සහ දඩබිමක් බවට පත්වෙන්න ඉඩ දෙන්න එපා."
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
විමල් වීරවංශ ගේ සම්පූර්ණ ප්‍රකාශය මතු පළවේ.
“ආයුබෝවන් සියලුම මාධ්‍යවේදී හිතවතුන්ට. අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න අපි කල්පනා කළේ ජාතිකවත්, ජාත්‍යන්තරවත් ශ්‍රී ලංකාවේ අපටත්, ඒ වගේම අපෙන් බාහිරව ජීවත් වෙන රටවලටත් බරපතල අවධානයක් ලක්වී තිබෙන කාරණයක් පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ නායකයා හැටියටත්, මේ රටේ වගකිවයුතු රටවැසියෙකු හැටියටත් අපේ ස්ථාවරය ඔබ මගින් පොදු ජනතාව හමුවට රැගෙන යන්න.
පළමුකොටම මේ වනවිට ඔබ අපි සියලු දෙනාම දන්නවා “ඉරානයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ඒකට ඒකාබත්දව එල්ල කරමින් තිබෙන, ආරම්භ කර තිබෙන යුද්ධය අද දිගැස්වූනු යුද්ධයක් බවට පත්වෙමින් තිබෙන බව” මුළු ලෝකයේම අද පිළිගැනී බවට පත්වෙලා තියෙනවා. ජනාධිපති ට්‍රම්ප් දින හතරකින් අවසන් කිරීමේ සිහනයකින් යුතුව ආරම්භ කරන ලද එම යුද්ධය මේ වනවිට ඔහුම පවසන පරිදි සති හතරකට වඩා කාලයක් දිග්ගැස්වෙනු ඇතැයි ඔහුම අනාවැකි පලකොට තිබෙනවා.
අපට පෙනෙන විදිහට නම්, ලොව මධ්‍යස්ථ යුද්ධ විචාරකයන්ට පෙනෙන විදිහට නම් මේ යුද්ධය ඔය කියන විදිහ සති හතරකින් නතර වෙන යුද්ධයකට වඩා ඉතාම බැරෑරුම් ලෙස ව්‍යාප්ත වෙන, මේවන විටත් මැද පෙරදිග කලාපයම නිෂ්ක්රියභාවයට පත් කොට තිබෙන යුද්ධයක්. හෝමෝස් සමුද්‍ර සන්ධිය වසා දමලා භාණ්ඩ, නාවික ගමනාගමනය භාණ්ඩ ප්‍රවාහනය අකරමන්‍ය වී තිබෙන තත්ත්වයක්. මේ වනවිට අනාවැකි පලවෙලා තියෙනවා බොර තෙල් බැරල එක මිල “ඩොලර් 150” දක්වා වුවත් ඉහළ යාමට ඉතා ඉහළා සම්භාවිතාවක් තිබෙන බව.
මේ නාවුක හමුදා අභ්‍යාසයට සම්බන්ධ වෙන්න නියමිතව තිබිලා තියෙනවා ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවත්. ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් “කන්වාල් සිබල්” පවසන විදිහට එම “ඇමෙරිකානු නාවික හමුදාව අවසන් මොහොතේ මීට සහභාගීවීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා”. ඒ ප්‍රතික්ෂේප කොට තිබෙනවා තිබෙන එකෙන්ම පේනවා යම්කිසි වෙනසක්, යම්කිසි තීරණාත්මක කාරණයක් මේ සමඟ බැඳිලා තියෙනවයි කියලා. ඒ වගේම ඒ ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් කන්වාල් සිබල් කියනවා, ඒ මහත්මයා කියනවා ඔහුට ඉතාම පැහැදිලියි “මේක කල්තියා සැලසුම් කරන ලද මෙහෙයුමක්”.
ඒ කියන්නේ ඉරාන නාවිකා හමුදාවේ ඒ යාත්‍රාවට පහර දීම, සබ්මැරේනයක් පාවිච්චි කොට පහර දීම කල්තියා සැලසුම් කරන ලද මෙහෙයුමක් හැටියට තමයි මේ හිටපු විදේශ ලේකම් කන්වාල් සිබල් මහත්මයා පැහැදිලි කරන්නේ. අනිත් අතට ඔහු කියනවා “ඇමෙරිකන් හමුදාව නාවික ඇමරිකන් නාවික හමුදාව අවසාන මොහොතේ නොපැමිණීමත් ඉතාම සැකයට භාජනය වෙනවා”. ඒකෙනුත් මේ බව ඔප්පු වෙනවා කියලා. ඒ වගේම ඔහු අවසාන වශයෙන් කියනවා මේකේ ඉන්දියාවට සදාචාරාත්මක හා මානුෂීය වගකීමක් තියෙනවයි කියලා.
මෙහේ පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වෙනවයි මෙන්න මේ තැන් වලට කියලා ප්‍රහාරයට දින දෙකකට හරි කලින් දන්වන්න තරම් බුද්ධි ක්‍රියාන්විතයක් තියෙන ඉන්දියාවට ඇයි අරක නොදන්නවය කියලා හිතන්න පුළුවන්. අපේ නිගමනය නම් මේක ඔවුන් ඉතා මැනවින් දන්නවා. ඔවුන් දන්නවා ඇමෙරිකානු නාවික හමුදාව නොයෙන්නේ ඒ හින්දා. එසේ දැනගෙනත් මේ ඉරාණ නාවික හමුදා යාත්රාවන්වලට තමන්ගේ රටෙන් නික්ම යන්න අවස්ථාව දෙනවා.
දැන් අපි තේරුම් ගන්න ඕනා අපි ආරාධනා කරලා අපේ ගෙදරට අපේ උත්සවයකට ඈත පළතක නෑදෑයෝ හරි මිත්‍රයෙක් ගෙන්න ගත්තොත් රටේ කිසියම් හදිසි තත්ත්වයක් වෙලා ඇඳිරි නීතිය හෝ මොනවාහරි ගැටුම්කාරී වාතාරණයක් ඇතිවෙලා තිබුනොත් අපි අපේ මිත්‍රයාව අපි අවධානමක් ඇතුව... නැහැ මට මීට වඩා මේ ගෙදර ඉන්න දෙන්න බැහැ පලයන් කියලා එළවනවද. අපි එයාලව ඒ අවධානමෙන් පහ වෙනකන් හරි තියාගන්නේ නැද්ද. එහෙම නැත්නම් අවධානමට ලක් නොවී යන්න පුළුවන් විදිහක් තියෙනවා නම් ඒ විදිහට හරි යවන්න උදව් වෙන්නේ නැද්ද?
දැන් ඊළඟට වුනේ මොකක්ද? මේ නාවික යාත්‍රාවකට සබ්මැරින් මගින් පහර දුන්නා. අපේ ආර්ථික කලාපය තුළ, අපේ මුහුදු සීමාවට ඔබ්බේ තියෙන අපිට අයිති සුවිශේෂී ආර්ථික කලාපය තුළ පහර දුන්නා. ඒ කලාපයේ අපේ අවසරයකින් තොරව යන්න එන්න පුළුවන් වුනාට ගැටුම් ඇති කරගන්න පුළුවන් කියලා කොහෙවත් නැහැ. අපේ අවසරයගෙන් තොරව ගමන්බිමන් යන්න පුළුවන්. හැබැයි ඒ කලාපයේ සුවිශේෂී ආර්ථිකලාපය ලංකාවට අයිති. ඒක ඇතුලෙන් යුද්ධ කරන්න පුළුවන් කියලා කොහෙවත් නැහැ. කොහොමද එහෙම නම් ඒක ඇතුළ යුද්ධ කරන්නේ මේ.
දැන් ඒ පළමු ගැටුමට ගොදුරු වෙච්ච ඉරාණ යාත්‍රාව ගිලිමෙන් තිබියේදී පැය ගානක් ගිහිල්ලා තමයි තොරතුරු ලැබුනට පස්සේ පැය 11කට 16කට වඩා වැඩි කාලයක් ගියාට පස්සේ තමයි ලංකාව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ගිහිල්ලා ඔවුන් ජීවතුන් අතර ඉන්න පිරිස බේරගෙනත් එන්නේ. අනිත් අයගේ හොයාගන්න පුළුවන් මළසිරුරු ටික අරගෙනත් එන්නේ. ඒක නිවැරදිව කළ යුතුව දෙයක්. ඒක අපේ සදාචාරාත්මක යුතු කමක් බැඳීමක්.
ආණ්ඩුව ඇතුලේ ඉන්න බස්නාහිර ආණ්ඩුකාරයා, නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු මුස්ලිම් දේශපාලඥයන් ප්රශ්නය තමන්ගේ කරට භාර අරගෙන තියෙනවා. ඔවුන් ජනාධිපතිවරයා හමුවට ගිහිල්ලා යම්කිසි පීඩනයක් මේ සම්බන්ධයෙන් එල්ල කරලා තියෙනවා. එල්ල කරාට පස්සේ විවිධ පාර්ශ්වයන් මගින් ඇමෙරිකානු තානාපති බලධාරීන් සමඟ සාකච්ඡා කරලා අවසානයේ ඒකඟතාවයක් ඇති කරගෙන තියෙනවා යාත්‍රාව ත්‍රිකුණාමලයට ගෙනියන්නත්, පුද්ගලයන් කොළඹ වරායට රැගෙන එන්නත්.
අද “රොයිටර්” ඔස්සේ මේ වනවිට වාර්තා කරනවා ඇමෙරිකාව ශ්‍රී ලංකා රජයට තදින් බලපෑම් කරනවා කියලා මේ නැවටවත් පුද්ගලයන්ටවත් යන්න දෙන්න එපා කියලා. දැන් එතකොට ගැටුමේ පාර්ශව දෙකක් ඉන්නවා. යුද්ධයේ පාර්ශව දෙකක්. ඊශ්‍රායලේ සහ ඇමෙරිකාවේ එක පාර්ශවයක්. ඉරානය තව පාර්ශයක්. නොවැලක්විය හැකි ලෙස වලක්වන්න බැරි ලෙස අපට මේ ආපු යාත්‍රාවක් රට ඇතුලට ගන්න වෙනවා. පුද්ගලයන් වෙනමත් යාත්‍රාව වෙනමත්. දැන් එක්සත් ජනපදය ඇමෙරිකා එක්සත් ජනපදය කියනවා යවන්න එපා යැව්වොත් බලාගෙනයි කියනවා.
එකකොට දැන් ශ්‍රී ලංකා රජය ඉතා බරපතල ලෙස... මම කියන්නේ ආණ්ඩුවට නෙවෙයි. මම මේ කියන්නේ රජය, රාජ්‍යය, අපි ඔක්කොම. දැන මේ නිසා බරපතළ අවධානමකට අපි මුහුණ දෙන තත්ත්වයකට පත් කරලා තියෙනවා. දැන් මේ නැවට යන්න කිව්වොත් ඒත් විශාල විපතක අපි වග උත්තරකාරයෝ වෙනවා. නැව තියාගන්න කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඇයි කියලා තේරුම් ගන්න අපට ටිකක් අමාරු වෙනවා. ඒ කියන්නේ ඒ නැව තියෙනවා නම් අපේ නැවත් තියෙනවා නම් ඒ හමුදා කණ්ඩ ඉන්නවා නම්.....
දැන් අපි කවුරුත් දන්නවා මැද පෙර දිග අවුරුදු 30ක විතර කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ඇමෙරිකානු ආරක්ෂක හමුදාවල ඒ බලසම්පන්නම හමුදා මධ්‍යස්ථාන, කඳවුරු කියන්නත් බැහැ ඒවට. හමුදා නගර හා සමානයි. ඒ සියල්ල විනාශ වෙලා ඉවරයි. අද මැද පෙරදිග කිසිම තැනක කිසිම රටක ඉරාණයේ පහරදී දීම හමුවේ අවුරුදු 30කට වඩා වැඩි කාලයක් තිස්සේ ඔවුන් ස්ථාපිත කරලා සංවර්ධනය කරපු “බිලියන ගණන් වටින අවියුධ සහිතව තිබුන ” පැවතුණ රේඩාර පද්ධති තිබුණු, ඒ හමුදා කඳවුරු බේස් සියල්ලම විනාශ වෙලා ඉවරයි. දැන් එතකොට මැද පෙර දිග ඉඳන් ආයේ යුද්ධයක් මෙහෙවන්න පුළුවන් තත්ත්වයක් නෑහැ. ඊශ්‍රායලය විතරයි එතුළ ඔවුන්ට එහෙම තියෙන්නේ.
එහෙම නම් මොකද කරන්නේ? දැන් ඇමෙරිකානු නාවුක හමුදාවන් වලට එහෙම නම් මැද පෙරදිග ආවරණය කළ හැකි විකල්ප ස්ථාන ඕන. විකල්ප ස්ථාන ඕන නම් එතනදි තියෙන එකක් ප්‍රධානම තැන තමයි ඉන්දියානු සාගරයේ මේ ශ්‍රී ලංකාව රාජ්‍යය. මේක උපාය මාර්ගික වශයෙන් වැදගත් තැනක පිහිටපු රටක් බව දන්නවා ඇති. එක අවස්ථාවක ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් “ජොන් කෙරී” මහත්මයා මට මතක හැටියට ලංකාවට ආවා. ඇවිල්ලා “ලක්ෂමන් කදිරගාමර” කේන්ද්‍රයේ දේශනයක් පැවැත්තුවා. ඔහු දේශනයේදී කිව්වා මෙන්න මේ අදහස...
“ඔබේ රට. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකාව (හුණ්ඬුව නෙවෙයි). ඔබේ රට පිහිටා ඇත්තේ උපාය මාර්ගිකව වැදගත් ස්ථානයකය. වැදගත් මන්සන්ධියකය. ඔහු එතකොට කියනවා මේ මේ පැත්තෙන් අප්‍රිකාව. මේ පැත්තෙන් ඕස්ට්‍රේලියාව. මෙහෙම මෙහෙම කියලා... මේ හැම කලාපයකටම නාභිගත වන ස්ථානය ඔබේ රටයි”. ඔබේ රටේ දියුණුවට අපද දායක වීමට සිතින් කැමැත්තෙන් කියලා. මේ ඉන්න හුණ්ඩු මොලේ තියෙන අයට රටේ වැදගත්කම නොතේරුනාට ජෝන් කෙරීයි ඒක කිව්වේ ඔය විදියට.
දැන් අපි දන්නවා ලංකාවේ මේ අත්සන් කරපු ගිවිසුම් ගොඩක්; තමුන්නාන්සේලා දන්නවා මේ සෝෆා (SOFA) කියන එක. දැන් මේ රටේ මිනිස්සු මේවා ගැන අපි කියන වෙලාවල් වලට අපිට 'මඤ්ඤං' කියලා හිතුවා. ඔන්න දැන් තමයි මේකේ අපි කියපු කතාවල ඇත්ත ප්‍රතිඵලය - අනේ ඛේදවාචකයක්! නමුත් අපි ඒකට කැමති නැහැ. අකමැති වුණත් දැන් මේක පෙනෙන්න පටන් ගන්න වෙලාව. සෝෆා ගිවිසුම අත්සන් කළා (Status of Forces Agreement) මුලින්ම ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්ක ශ්‍රී ලංකාව 1995 දී. ඒ කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ආණ්ඩු කාලයේ.
“සෝෆා කියලා කියන්නේ Status of Forces Agreement”. ඒකෙන් වෙන්නේ විදේශ හමුදා සඳහා පැමිණෙන - විදේශ හමුදා කිව්වට ඇමෙරිකා එක්සත් ජනපදය හෝ ඔවුන්ට අයත් මිත්‍ර හමුදා - ඒ අයගේ යම්කිසි වෙලාවක පැමිණීම නීත්යානුකූලකරණය කිරීම. ඒ කියන්නේ එවැනි හදිසි තත්ත්වයකදී පැමිණීම පිළිගැනීම. පළවෙනි ගිවිසුම 1995; ඒක තමයි සෝෆා.
ඊළඟට අත්සන් කරා ඇක්සා (ACSA) කියලා ගිවිසුමක්. ඒ ඇක්සා කියන ගිවිසුමෙන් සිද්ධ වෙන්නේ - අතන තියෙනවා පැමිණීමට අවසරය - “ඇක්සා ගිවිසුමෙන් වෙන්නේ ලොජිස්ටික් සපෝට් එක; ඒ කියන්නේ භූමිය තුළ මිලිටරි සහයෝගිතාවය”. සෝෆා එකෙන් එන්න ඉඩ ලබාගත්තා. ඇක්සා එකෙන් ඒ එන අයට භූමිය ඇතුළත රැඳී සිටීම සහ පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව ලබාගත්තා. මේකේ පළවෙනි එක අත්සන් කරේ 2007 දී. හැබැයි කොළ හතර පහයි පළවෙනි එකේ තිබුණේ, අවුරුදු 10කට වළංගු වෙන විදිහට. අවුරුදු 10කින් පස්සේ ඒක වලංගු වෙනවා. කොළ හතර පහයි තිබුණේ, බොහොම සීමාකාරී වගන්ති ටිකක්.
මේකේ භයානකම තත්ත්වය පරිවර්තනය වෙන්නේ 2017 අර 10 අවසන් වෙන වෙලාවේ. කවුද හිටියේ? “විදේශ ඇමති මංගල සමරවීර. මට මතක හැටියට විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ - ඔය දැන් ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉන්නවා”. කරපු පාවාදීමට ලැබිච්ච ඉහළම වටිනාකම හැටියට. මම දැක්කා කවුද සමාජ මාධ්‍යවල ටෝක් ටිකක් ශෙයා කරනවා මේ රවිනාථලා අත්සන් කරේ නැහැ, අපිව බේරගත්තා කියලා. රවිනාථ තමයි ඒ කපුකමේ ලොකුවටම හිටියේ. මංගල තමයි ඒක කරේ තියාගෙන ගියේ. එදා අපි මේකට විරුද්ධව මතයක් ගොඩනැගුවා. නමුත් නවත්වගන්න බැරි වුණා. මේ රටේ සමාජය ඒවා ගැන එච්චර තැකීමක් කළේ නැහැ.
අපිට විහිළු කරන්න පුරුදු කළේ 'ජාත්‍යන්තර කුමන්ත්‍රණ' කියලා. අත්සන් කරා පිටු 17ක් දක්වා දික් වුණ ඇක්සා ගිවිසුම. ඒ පිටු 17 ඇතුළෙන් සම්පූර්ණ ඉඩකඩ දුන්නා ලොජිස්ටික් සපෝට් එක - ඒ කියන්නේ භූමිය ඇතුළත ඇවිල්ලා ඒ සියලු පහසුකම් ලබාගනිමින් සිටීමේ අවස්ථාව හදලා දුන්නා. ඇක්සා 2017 කියන්නේ අමතක කරන්න එපා, ජනතා විමුක්ති පෙරමුණත් අනියමින් සහයෝගය දීපු යහපාලන ආණ්ඩුව කාලේ. ඒ විතරක් නෙමෙයි, “ජනතා විමුක්ති පෙරමුණේ අද ඉන්න පොලිසිය භාර ඇමති අරලියගහ මන්දිරයේ පිහිටවපු දූෂණ මර්ධන මර්ධන මෙහෙයුම් කාර්යාංශයේ ප්‍රධානියා, ලේකම් හැටියට හිටපු කාලේ”.
අර දින 100 වැඩපිළිවෙළේ ප්‍රධාන මෙහෙයුම් මණ්ඩලයේ අනුර කුමාර දිසානායකත් යෙහෙන් වැජඹුණු කාලේ. එතකොට මේගොල්ලොත් මේ මල් වට්ටියට අතගහපු කට්ටිය. ඒ නිසා ආයෙ මුකුත් කියන්න බැහැ. 2017 තමයි මේකේ නරකම පරිවර්තනය වුණේ. පිටු හතර පහක ලියවිල්ල පිටු 17ක් 20කට ආසන්න ප්‍රමාණයක් දක්වා වර්ධනය වුණා. පිටු වලින් වර්ධනය වීමක් නෙවෙයි, කරුණු වලින් ලබා දීපු ඉඩප්රස්තාවෙන්, ඇමෙරිකානු බාහිර හමුදාවන්ට ලබා දීපු අවස්ථාව සෑහෙන දුරට ව්‍යාප්ත කළා. ඊට පස්සේ මේ ආණ්ඩු ආවට පස්සේ මොකද වුණේ? **මොන්ටානා ගිවිසුම අත්සන් කළා**.
ඊට පස්සේ ඊළඟට කරපු දේ තමයි ඉන්දියාවත් එක්කත් **ගිවිසුම් හතක් ගැහුවා**. තාමත් හංගන් ඉන්නවා. හතෙන් බලවත්ම එක ආරක්ෂක ගිවිසුම. අපි දන්නේ නැහැ ඒකේ මොනවා තියෙනවද කියලා. රටට පෙන්නුවේ නැහැ. යහපත් දේවල් නම් තියෙන්නේ පෙන්නන්න බැරිකමක් නැහැ. අතිශය භයානක දේවල් තියෙන නිසා පෙන්නන්න බැහැ. ආණ්ඩුවේ නිවට ඇමති කිව්වා ඉන්දියාවෙන් අවසරයක් නැතුව මේක රටට පෙන්නන්න බැහැ කියලා. එතකොට ඉන්දියාවේ තියෙන ගිවිසුම් මොනවාද? ඉන්දියාව ඇමෙරිකාව සමඟ ගිවිසුම් තුනක් තියෙනවා. ඔය කියන මිලිටරි සහයෝගිතාවය, අභ්‍යන්තර අවශ්‍යතා ඔක්කොටම ගැලපෙන. ඊට අමතරව ඉන්දියාව ඉන්නවා හින්දු-පැසිෆික් සංවිධානය **කොඩ් (QUAD) එකේ**. කොඩ් එකේ සාමාජිකයෝ ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ ඉන්දියාව. ඒක චීනයට එරෙහිව මේ හින්දු-පැසිෆික් කලාප සාගරයේ මිලිටරි බලය ව්‍යාප්ත කර ගැනීම සඳහා හදපු සංවිධානය.
දැන් අපි අහන්නේ, මෙහෙම ගිවිසුම් වලින් බැඳීමක් නැත්නම් - අපි දන්නවා මැදපෙරදිග අපේ රටේ තේ නිෂ්පාදනයෙන් 14%ක් විතර මිලදී ගන්නා කලාපයක්. ඒකෙන් වැඩිම ප්‍රමාණයක් ගන්නේ ඉරානය. ඉරානයයි ශ්‍රී ලංකාවයි ඓතිහාසිකව සෑහෙන බැඳීම්, මිත්‍රත්වයන් තියෙනවා. ශිෂ්ඨාචාරයන් දෙකක් හැටියට ගත්තත් අපේ දෙගොල්ලෝ අතර ඉතා විශාල සමීපභාවයක් තියෙනවා. එතකොට යුද්ධය වෙලාවේ හැම ජාත්‍යන්තර වේදිකාවකදීම අපිට සහයෝගය දීලා තියෙනවා; අපිට විරුද්ධව එන යෝජනාවලට විරුද්ධව හැමවෙලේම හිටගෙන තියෙනවා.
ඉතින් ඒ හැම පැත්තකින්ම ගත්තත් අපේ හොඳ මිත්‍රයෙක්. එතකොට ඒ මිත්‍රයා නෙවෙයිනේ යුද්ධය පටන් ගත්තේ. ඊශ්‍රායලයයි ඇමෙරිකාවයි. ඒගොල්ලෝ තමයි පළවෙනි ප්‍රහාරය දුන්නේ. එතන ඉඳන් තමයි මේක දිගැස්සෙන්නේ. එතකොට එහෙම පටන් ගත්තු යුද්ධයක් ගැන අපේ ශ්‍රී ලංකා රජය නිකන් 'එලොවටත් නැති මෙලොවටත් නැති පතෝල' අදහසක් පළ කිරීම හරිද? දැන් මම කියන්නේ නැහැ ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගිහිල්ලා 'ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට භංග වේවා' කියලා කියන්න කියලා නෙමෙයි.
අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අඩුම තරමෙන් අපිට කියන්න බැරිද - මට මතක හැටියට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්මත කරපු යෝජනාව - “ඉන්දියන් සාගර කලාපය සාම කලාපයක් විය යුතුයි කියන යෝජනාව” පරිදි සෑම පාර්ශ්වයක්ම කටයුතු කළ යුතුයි කියලා කට ඇරලා කියන්න බැරිද? ඒකට හයියක් නැති වෙන්නේ ඇයි? ඊළඟට ජාත්‍යන්තර නීතිය පිළිගන්න කියන්න බැරිද අපිට? ඒ අනුව ක්‍රියා කරන්න සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් කරන්න බැරිද අපිට?
දැන් මම මේ කියන්නේ ලංකාව ඉල්ලුවා කියලා ඒගොල්ලෝ ඔක්කොම එකඟ වෙනවා නෙමෙයි. නමුත් අපේ වගකීමක් ඒක. ඒගොල්ලෝ පිළිගන්නවාද නැද්ද කියන එක ඒගොල්ලන්ගේ දෙයක්. රටක් හැටියට අපිට ඒක කියන්න බැරිද? 'ජාත්‍යන්තර නීතියට ගරු කරන්න, ඒක කඩ කරමින් ක්‍රියා කරන්න එපා, ඒක නරක ආදර්ශයක්' කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් විය යුතුයි කියන සම්මුතියට අනුව කටයුතු කරන්න කියලා කියන්න කට ඇරෙන්න ඕනේ. අනිත් එක, පුළුවන් වෙන්න ඕනේ “ඉරානයේ පුංචි දියණියන් 160 ගාණක් මැරුවා පළවෙනි දින හතර ඇතුළත ප්‍රහාර වලින්. පාසලේ අධ්‍යාපනය ලබපු පුංචි දියණියන්, අවුරුදු 10-12 දරුවෝ. ඔක්කොම සමූහ මිනීවළක ඔවුන්ව මිහිදන් කළේ”. ඒ තුච්ඡ ප්‍රහාරය - ඒ කියන්නේ මේ දරුවන්, සිවිල් ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන්න එපා, ඒක මානව අපරාධයක් කියලා කියන්න බැරිද?
ඒ පුංචි දරුවන්, ඒ සිවිල් වැසියන් - ඔවුන් හමුදා සාමාජිකයන් නෙවෙයි, ඔවුන් ළඟ ආයුධ නැහැ, ඔවුන් මිලිටරි නිල ඇඳුම් ඇඳගෙන නැහැ. ඔවුන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන්න එපා කියලා කියන්න බැරිද ශ්‍රී ලංකා රජයට? ඒක කිව්වාම කාටවත් ප්‍රශ්නයක්ද? අනිත් එක සෑම ස්වෛරී රාජ්‍යයකම අනන්‍ය අයිතියට ගරු කරන්න කියලා කියන්න බැරිද? ඇයි ඒකවත් කියන්න බැරි? ඊළඟට මේ යුද්ධය නිසා තැළෙන්නේ එයට සෘජුව සම්බන්ධ පාර්ශ්වයන් පමණක් නෙවෙයි, සෙසු පාර්ශ්වයන්ද එයින් බැටකනවා. ඒ නිසා මේ යුද්ධය ආරම්භ කරපු අය වහාම එය නතර කිරීමට පියවර ගන්න කියලා ඉල්ලන්න බැරිද? පුළුවන්.
ඇයි අපිට ඒ කිසි දෙයක්වත් කියන්න බැරි? මම මේ කියන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ගාව ගිහිල්ලා චණ්ඩිකම් පෙන්නන්න නෙවෙයි. මෙන්න මේ වගේ ඉතාම රාජ්‍යතාන්ත්‍රික, ඉතාම නිවැරදි අදහස් දැක්වීමක්වත් කරන්න පණ නැද්ද? පණ නැත්තේ මොකවත් හින්දා නෙවෙයි, බැඳිලා ඉන්නේ. අපිට නොපෙන්නුවාට අත්සන් කර තිබෙන ගිවිසුම් වලින් බැඳීම් ඇති කරගෙන ඉන්නේ**. ඒ නිසා එහෙන් අවසර නැතුව කට හොල්ලන්නත් බැහැ. අර කියන්නේ 'සුද්දාගේ කාලේ බත් මුට්ටිය පාදාගන්න අවසරද හාමුදුරුවනේ' කියලා අහනවා වගේ තත්ත්වයකට පත්වෙලා තියෙනවා.
එතකොට මේකේ ඉතාම භයානක ප්‍රතිඵලයකට අපි දැන් මුහුණ දෙමින් ඉන්නවා. දැන් මේ යාත්‍රාව යවන්න එපා කියලා එහෙන් කියනවා. අපි අවසානයේ යැව්වොත් අපේ මුහුදු සීමාවේදී හෝ ඊට ආසන්නයේදී මේකට පහර දෙන්න ඉඩ තියෙනවා. පහර දුන්නොත් ඒ පහර දීමත් එක්ක අපිත් කිසියම් පාර්ශ්වයක් කියලා අපිට චෝදනා කරයි. අපි මේකට ගොදුරු වෙන්න ඉඩ හැරියා කියලා අපිට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වරදක් පටවයි. එහෙම වෙයි කියලා අපි මේක තියාගෙන හිටියොත් ඒක පාවිච්චි කරලා තව පාර්ශ්වයකට මේ කලාපයට රිංගන්න ඉඩ හදාගන්න පුළුවන්. “මේ ඔක්කොම උගුලේ අපිව හිර කරපු ඉන්දියාව දැන් පැත්තකට වෙලා ඉන්නවා. මෝදි මහත්තයාලා කකුල් දෙක නවාගෙන අපි දිහා බලන් ඉන්නවා”.
ඉන්දියාව වග කියන්න ඕනේ කියන එක ඒ විදිහට අපි ඇඟවිය යුතුව තිබුණා. 'මේකේ වගකීමක් තියෙනවා ඕගොල්ලොන්ට, ඇයි ඕගොල්ලෝ ඒක නොකරන්නේ?' කියලා ප්රශ්නය අහන්න තිබුණා. දැන් අපිට ඒවා අහන්න බැහැ. “අපි රටට නොපෙන්නපු ගිවිසුම් මගින් බැඳිලා. ඒ නිසා දැන් අර අතපය දෙකම ගැටගහ ගත්තු මිනිහෙක් පීනන්න උත්සාහ කරනවා වගේ තත්ත්වයකට ලංකාව රාජ්‍යය ඇදවට්ටලා ඉවරයි”. මේකේ භයානකකම අපි දන්නේ නැහැ කොයි තරම් දුරට වර්ධනය වෙයිද කියලා. අපි ප්‍රාර්ථනා කරනවා මේ මට්ටමට වඩා වර්ධනය නොවේවා කියලා. එහෙත් අපේ ප්‍රාර්ථනාවලට අනුව නෙවෙයි ලෝකයේ දේවල් සිද්ධ වෙන්නේ.
ඉතින් ඒ නිසා තේරුම් ගන්න - අපි මේ රටේ ආදරණීය ජනතාවගෙන් කියන්නේ, මේ ගහන ගිවිසුම්වල ස්වභාවය ගැන දන්නේ නැතුව ලෝකයේ භූ-දේශපාලනික වශයෙන් සිද්ධ වෙන දේවල් තේරුම් ගන්න බැහැ. ඒවායෙන් වෙන අහිතකර බලපෑම එන දවසට තේරුම් ගත්තාට වැඩක් නැහැ. එතකොට අපි මේ අවදානමට ගොදුරු වෙලා ඉවරයි. අපේ රට මිලිටරි තිප්පොළවල් බවට පත්වෙලා ඉවරයි.
එම්.සී.සී (MCC) එක ආවේ මොකටද කියලා මම කියන්නම්.. දැන් මම ඇක්සා ගැන කිව්වා. ඇක්සා ආවාම සහයෝගය ගන්නවා; සැපයුම් වලින් තෙල් ටික ගහලා ඒ ටික කරන්න. සෝෆා එකෙන් ලොජිස්ටික් සපෝට් එක - භූමිය ඇතුළේ ඉන්නකොට සපෝට් එක දෙන එක. “එම්.සී.සී ආවේ භූමිය ඇතුළට ආවාම භූමිය සැකසෙන්න ඕනේ ඒ මිලිටරි උවමනාවන්ට අනුකූලව”. ඒකට තමයි ත්‍රිකුණාමල වරායයි, කොළඹ වරායයි එකට එකතු කරපු ඉකොනොමික් කොරිඩෝ එකක් එන්නේ. ඒකට තමයි මට මතක හැටියට අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් 16ක් හෝ 30 ගාණක් එම්.සී.සී ප්ලෑන් එකේ තිබුණේ. දැන් අපිට ඕනේ නැහැනේ අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් එච්චර ගොඩක්. හැබැයි මිලිටරි උවමනාවන් එක්ක බැලුවාම එහෙම ගොඩක් ඕනා. ඒ නිසා එම්.සී.සී කියන්නේ යුදමය උපායමාර්ගයට අනුව ආපු හමුදාවන්ට ඕන කරන විදිහට යටිතල පහසුකම් ඩිවෙලොප් (Develop) කර ගැනීම. ඒකට තමයි එම්.සී.සී ආවේ. ඒක කරගන්න බැරි වුණා.