මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අද (03) පාර්ලිමේන්තුවේ දී මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා එම කාරණය අවධාරණය කළේය.
කිසිදු යුධ ගැටුමක් කිසිදු ජන කණ්ඩායමයකට හිතකර තත්ත්වයක් නිර්මාණය නොකරන බවත් යුද්ධයේ සියලු පාර්ශවයන් සාමකාමී ලෝකයක් වෙනුවෙන් පියවර ගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසිය.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය තුළ ලංකාවේ ජන ජීවිතයට ද විශාල බලපෑම් එල්ල විය හැකි අතර හුදකලාව එයින් මිදීමට අපට හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, කෙටි කාලීනව හා දීර්ඝ කාලීනව මෙම යුදමය තත්ත්වය හමුවේ ලංකාවට මුහුණ දීමට සිදුවන ගැටලු සඳහා විසඳුම් සොයාගත යුතු බව යි.
"ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කණ්ඩායමයකට හිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නේ නෑ. තාක්ෂණික වශයෙන්, යුදමය වශයෙන් ඉතාම විශාල අවි තාක්ෂණික මෙවලම් නිර්මාණය කරමින් තිබෙන ලෝකයකට එය මොන තරම් විනාශකාරී ද කියන එක පිළිබඳව අපි කාටත් අවබෝධයක් ලබාගත හැකියි. එනිසා ශ්‍රී ලංකාව ලෙස අපගේ ස්ථාවරය වන්නේ, මේ යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම්, මඟ පෙන්වීම් කළ යුතු යන්නයි."