දේශපාලන නායකයන්ට හිරේ වගේ ගෙදරට වෙලා ඉන්න පුළුවන් ක්‍රමයක් !

දේශපාලන නායකයන්ට හිරේ වගේ ගෙදරට වෙලා ඉන්න පුළුවන් ක්‍රමයක් !

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් ගෙන එන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය හරහා එම දඬුවම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා එබව සඳහන් කර සිටියේ, නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 19 දා පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අධිකරණ අමාත්‍යවරයා මෙසේද පැවසීය.


''උසාවි කියන්නේ නඩුකාරයන්ට පඩි ගන්නයි නීතිඥයන්ට හම්බ කරන්නයි තියෙන තැන් නොවේ''


''අධිකරණ නඩු වේගවත් කිරීම අපේ රජය බලයට එන්න පෙර දුන් පොරොන්දු වලින් එකක්. උසාවි කියන්නේ නඩුකාරයන්ට පඩි ගන්නයි නීතිඥයන්ට හම්බ කරන්නයි තියෙන තැන් නොවේ. ඒව තියෙන්නේ ජනතාවට තමන්ගේ කාලය නාස්ති කරන්නේ නැතිව, මුදල් නාස්ති නොකර නඩු අසා ඉවර කිරීමටයි. සිවිල් සහ අපරාධ නඩු ලක්ෂ එකොළහක් පමණ මේ වන විට අධිකරණ වල තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කොපමණ කල් දැම්මාද කියනවා නම් ඊළඟ නඩු දිනය ලැබුණේ අවුරුද්දක් පැනලා. අලුත් අග්‍ර විනිශ්චකාරතුමා වැඩ බාර ගත් පසුව නඩු ගොනුවෙන ප්‍රමාණයට වඩා නඩු අවසන් වෙන ප්‍රමාණය වැඩියි.

මේ වන විටත් පාස්කු නඩුවට සහ අල්ලස් නඩු වලට වෙනම අධිකරණ තිබෙනවා. තව සති දෙකක් ඇතුළත උසාවි දෙකක් ලබාදෙන්නත් අලුත්කඩේ නව ගොඩනැගිල්ලක තව උසාවි පහක් ඇරැඹීමටත් කටයුතු කරනවා.


'10,000ක් ඉන්න පුළුවන් හිරගෙදර 39,000ක්'


අපේ බන්ධනාගාර ඉදිකර තිබෙන්නේ 10500ක් ඇතුලේ තබා ගන්නයි. නමුත් අද වන විට 39000ක් එහි සිටිනවා. අපට ගැටලුව වී තිබෙන්නේ වැරදිකරුවන් වී සිටින දස දහසක සෙනඟ නොවේ. වැරදිකරුවන් නොවී සිටින 28000ක පිරිසයි. එයින් මත්ද්‍රව්‍ය භාවිතා කරන අය විසි දහසක් පමණ සිටිනවා.

මේ සඳහා අලුතින් පනතක් ගෙනෙන්නට අප කටයුතු කරනවා. රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීම එහි අරමුණයි. ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය හරහා එම දඬුවම ක්‍රියාත්මක කරනවා. එසේ වුවහොත් බන්ධනාගාර වල සෙනඟ අඩු කිරීමට අවස්ථාව ලැබෙනවා'' යයි ද  අමාත්‍යවරයා කීය.


මෙරටට ගැලපෙන ක්‍රමයක් !


බන්ධනාගාර තුළ පවතින අධික තදබදයට විසඳුමක් ලෙස සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත නොකර, නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයක් මේවනවිට
මියන්මාරය, ඉන්දුනීසියාව, පිලිපීනය, චීනය සහ සිංගප්පුරුව වැනි කලාපයේ අසල්වැසි රටවල් කිහිපයක මෙන් ම බටහිර රටවල් කිහිපයක ද ක්‍රියාත්මක වේ.

එසේ දැනට විදේශ රටවල්වල ක්‍රියාත්මක වන නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයන් ද අධ්‍යයනය කරමින්, මෙරටට ගැලපෙන සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඇතුළු විශේෂඥයන් පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා කරමින් සුදුසු පනතක් සැකසීමේ කාර්යයේ නිරතව සිටින බව ද ඇමති හර්ෂණ නානායක්කාර කියා සිටියේය.

කෙසේ වෙතත්, මෙම ක්‍රමවේදය ක්‍රියාවට නංවන කාලයක් සම්බන්ධව තවමත් ප්‍රකාශ කළ නොහැකි බව ද හර්ෂණ නානායක්කාර ඇමතිවරයා පැවසීය.

බොහෝ විදේශ රටවල නඩු විභාගය අතරතුර සැකකරුවෝ මෙසේ නිවාස අඩස්සියේ රඳවා තබනු ලබති.

එමෙන් ම, ඇතැම් රටවල ඉහළ පෙළේ දේශපාලන නායකයන්ට දඬුවමක් ලෙස ද නිවාස අඩස්සියේ තබා ඇති අවස්ථා වාර්තා වී තිබේ. 

 

 

 [theleader.lk] 

[voicetube] 

Search