ඩයස්පෝරා තර්ජන මැද නාමල් ඔක්ස්ෆර්ඩ් ගිහින්...

ඩයස්පෝරා තර්ජන මැද නාමල් ඔක්ස්ෆර්ඩ් ගිහින්...

එංගලන්තයේ කේම්බ්‍රිඩ් හා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලවලින් දේශන දෙකක් සඳහා ලැබුණු ආරාධනයක් අනුව ශ්‍රී ලංකා පොදුජන

පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අද පස්වරුවේ එංගලන්තයේ ලන්ඩන්  නුවර බලා පිටත්ව ගියේය.

 ඔහු සමග එම ගමනට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම්, මිලින්ද රාජපක්ෂ, තේනුක විදානේගමගේ සහ යූ වී සුමිත් සහභාගී වී සිටියහ.

එංගලන්තයේ කේම්බ්‍රිඩ් යුනියන් හා ඔක්ස්ෆර්ඩ් යූනියන් විසින් පවත්වන සම්මන්ත්‍රණ සඳහා දේශන දෙකක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ට සහභාගී වන මෙන් ලිඛිතව ආරාධනා කර තිබුණේ මීට සති කීපයකට පෙර සිටය.



කේම්බ්‍රීජ් සරසවිය දේශනය අවලංගු කරයි...

ඒ අනුව එම ගමන සදහා වීසා බලපත් හා ගුවන් ටිකට් පත් කල්තියා රැගෙන නාමල් ඇතුළු පිරිස සූදානම් වුවත් විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් කටයුතු කරන දෙමළ ඩයස්පෝරාවේ බලවත් විරෝධය නිසා කේම්බ්‍රීඩ් සරසවිය ආරාධිත දේශකයන්ට අවශ්‍ය ආරක්ෂාව සැලැස්වීමේ අපහසුව ගැන කියමින් එම සරසවියේ දේශනය අවලංගු කරන බව අවසාන මොහොතේ දන්වා ඇතැයි වාර්තා වේ.

එහෙත් ඔක්ස්ෆර්ඩ් සරසවිය කොතරම් ඩයස්‌පෝරා තර්ජන හා ඉල්ලීම් තිබුණත් ඒ පිළිබඳ අවසාන තීරණයකට පැමිණ සිටියේ නැත. එබැවින් කේම්බ්‍රිජ් සරසවියේ දේශනය කෙසේ වෙතත් ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනය පැවැත්වීම සඳහා නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ලන්ඩනය බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා පොදු යන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

කීර්තිමත් කේම්බ්‍රිජ් සරසවිය හා ඔක්ස්පර්ඩ් සරසවිය මීට පෙරත් ශ්‍රී ලංකාවේ දේශපාලඥයින් කීපදෙනෙකුටම මෙවන් දේශන සදහා ආරාධනා කර ඇති බව සාගර කාරියවසම් පවසයි. ඔක්ස්ෆර්ඩ් සරසවියේ කීර්තිමත් ශිෂ්‍යයින් දෙදෙනෙකු වන දිවංගත ලලිත් ඇතුළත් මුදලි මහතාට හා  ලක්ෂ්මන් කදිරගාමර මහතාට මීට පෙර දේශන සඳහා එම සරසවි ආරාධනය කර තිබිණි.  

ඊට අමතරව 2010 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ද එවන් ආරාධනයක් කර තිබුණත් අවසාන මොහොතේ ලන්ඩනයේදී එය පැවැත්වීමට නොහැකි වූයේ විමුක්ති කොටි ඩයස්‌පෝරාවේ බරපතළ විරෝධතා කලබල කිරීම මධ්‍යයේය.  



ඔක්ස්පොට්ස් සරසවිය දේශනය පවත්වන්නට තීරණය කරයි

මෙවරක් කොටි ඩයස්පෝරාවේ බලහත්කාරය මත කේම්බ්‍රිජ් සරසවිය පමණක් එම දේශනය අවලංගු කිරීමට තීරණය කර ඇති බවත් ඔක්ස්ෆර්ඩ් සරසවිය ශ්‍රී ලංකාවේ දේශපාලඥයින් සමඟ අතීතයේ පටන් පැවත එන විශ්වාසය හා සම්බන්ධතාවය මත සලකා මෙම තර්ජන නොසලකා එම දේශනය පැවැත්වීමට ඉඩ ඇති බව සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසීය...

අපේ රටේ කීර්තිමත් දේශපාලඥයෙකු වන ඇස් ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඔක්ස්ෆර්ඩ් සංගමයේ පළමු ආසියාතික මහ ලේකම්වරයා ලෙස පත්වීම විශේෂ කාරණාවක් ලෙස සඳහන් කළ සාගර කාරියවසම්, ඉන්පසු කාලයකදී ලලිත් ඇතුළත්මුදලි මහතා එම කීර්තිමත් සංවිධානයේ සභාපතිවරයා ලෙස පත්වීමද අනුස්මරණය කළේය.

මහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අංශ ලංකාවේ නාමල් රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයන්ගේ ආරක්‍ෂාව සලසමින් කලින් වෙන් කරවාගෙන තිබූ නවාතැන් හා හෝටල සියල්ල පවා වෙනස් කරන්නට කටයුතු කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Search