FCID ය අද මෛත්‍රී වික්‍රමසිංහ ගේ නිවසට !

FCID ය අද මෛත්‍රී වික්‍රමසිංහ ගේ නිවසට !

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ ට අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දීමක් සිදුකර තිබේ.

කෙසේ නමුත් සෞඛ්‍ය හේතුන් මත අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඒමට නොහැකි බවට එම කොට්ඨාශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෛත්‍රී වික්‍රමසිංහ ගේ නිවසට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

ඇයට අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බව පසුගිය 18වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමක් සිදුකරනු ලැබීය.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, 2023 වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 166කට අධික මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට පෙබරවාරි 20 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස කොල්ලුපිටිය පොලිසිය මාර්ගයෙන් දැනුම් දීමට පියවර ගෙන ඇති බව යි.

මෛත්‍රී වික්‍රමසිංහ කැලණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පිලිබද හිටපු මහාචාර්ය වරියයි.

 

[theleader.lk] 

Search