සාක්ෂිකරුවන් බිය ගැන්වීමේ මාධ්‍ය මෙහෙයුමක් ගැන අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප ගෙන් ප්‍රකාශයක්

සාක්ෂිකරුවන් බිය ගැන්වීමේ මාධ්‍ය මෙහෙයුමක් ගැන අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප ගෙන් ප්‍රකාශයක්

අධිකරණය අපහසුතාවයට පත්කරමින් සාක්ෂිකරුවන් බිය ගැන්වීමේ මාධ්‍ය මෙහෙයුමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසයි.


2023 වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 166කට අධික මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප නියම කිරීමට අදාලව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (පෙබ. 18) නඩුව කැඳවූ අවස්ථාවේදීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ ඒ සම්බන්ධයෙන් මෙසේ කරුණු දැක්වීය.

"ස්වාමීනී, ඔබ තුමා පසුගිය නඩු දිනයේ සඳහන් කළා අදහස් ප්‍රකාශ කිරීමට ඕනෑ ම පුද්ගලයෙකුට අයිතියක් තිබෙන බවත් ඊට පස්සේ බාධා කිරීමක් නොකරන බවට. අපිත් ඒක පිළිගන්නවා.

"නමුත් මෙම නඩුවට සම්බන්ධ ඇතැම් නීතිඥයින් හා විශාරදයින් බව කියා ගන්නා පුද්ගලයින් සිදු කරන ප්‍රකාශ නිසා සාක්ෂිකරුවන්ට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ඇතැම් පුද්ගලයින් මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා දුන් අරුණ ප්‍රනාන්දු නමැති සාක්ෂිකරුගේ ප්‍රකාශය ඇතුළත් බී වාර්තාව පෙන්වමින් මාධ්‍ය සාකච්ඡා පවත්වනවා.

මෙවැනි ක්‍රියා කරන්නේ සාක්ෂිකරුවන් බිය ගැන්වීම සඳහා යි. මේ හරහා මානසික භීෂණයක් මැවීමට ඔවුන් උත්සහ කරනවා," මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

"සාක්ෂිකරුවන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් පියවර ගැනීමට ඕනෑ තරම් නීති ප්‍රතිපාදන පවතිනවා. ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබෙනවා.


"එවැනි ප්‍රකාශ "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසෙන්" වෙන් කර ගත හැකි, විමර්ශනවලට බාධා සිදු කරන ආකාරයේ ප්‍රකාශ නම් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට හැකියාවක් තිබෙනවා. එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කළ යුතු යි," ඊට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා පැවසීය.

Search